එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමේ දේශපාලනයෙන් අපි දැන්වත් ඉවත් වෙමු-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පක්ෂයේ වෙනස්කම් රැසක් සිදුකරමින් නූතන පරම්පරාවට ගැළපෙන දේශපාලන බලවේගයක් බවට තම පක්ෂය වෙනස් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වරකාපොලදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. “ජනාධිපතිවරණයක් අවසන් වෙලා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන වෙලාවක්. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේ දී අපි පක්ෂයක් විදිහට අභියෝගවලට ඊට පෙර සිට මුහුණ දුන්නා. යහපාලන ආණ්ඩුව කාලයේ ගත් ණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේ කරපිට වැටුණා.

විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක්වත් එකතු කළේ නැහැ. ඒ නිසා විදුලි අර්බුදය ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ ගොඩනැඟුණා.

පාස්කු දින ප්‍රහාරයත් එක්ක කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය හිස ඔසවාගෙන එන අවස්ථාවේ කොවිඩ් වසංගතයත් ආවා. ඒ අනුව රටේ අවංකව අරගල කළ පිරිසක් හිටියා. ඒ වගේම ඒ අරගලයෙන් දේශපාලන වාසි ලබාගත් පිරිසකුත් හිටියා. ඒ අනුව දේශපාලන වාසි ලබාගත් පිරිස ජයග්‍රහණය කළා. අද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බවට පත්වෙලා තිබෙනවා.

ඒ කාරණා කෙසේ වෙතත් පක්ෂයක් විදිහට අපි නැවත ගොඩනැඟෙමින් සිටිනවා මෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට අපේ අරමුණු ඉෂ්ට කර ගත්තා ජනාධිපතිවරණ මැතිවරණ වෙලාවේ. අද වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම සහ එක්සත් ජාතික පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට ඉතාමත් ශක්තිමත්ව මේ මැතිවරණයට මුහුණ දෙනවා. ඒ වගේම අපේ පාක්ෂිකයාට, අපේ ශාඛා සමිතියට, බලමණ්ඩලයට, අපේක්ෂකයන්ට අනාගතය ගොඩනඟන්න පුළුවන් දේශපාලන බලවේගයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙමින් පවතිනවා. මේ මැතිවරණයේ අපේ පක්ෂය ඇතුළේ යම් වෙනස්කම් රාශියක් කරමින් නූතන පරම්පරාවට ගැළපෙන දේශපාලන බලවේගයක් බවට පක්ෂය වෙනස් වෙමින් පවතිනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අවස්ථාවේ වෙනස, අපේ පක්ෂය ඇතුළේ ඒ අභ්‍යන්තරව ගත් තීන්දු තීරණ වගේම පහුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද නොදාන්න ගිය බොහෝ පාක්ෂිකයන් නැවත වතාවක් ඡන්දපොළට යන ප්‍රවණතාවක් අපි දැක්කා.

මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතාම තරුණ කණ්ඩායමක් අපි අපේ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් අහන්න පුළුවන් ඇයි ජ්‍යෙෂ්ඨයෝ ඉල්ලන්නේ නැත්තේ කියලා? විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ ගාමිණි ලොකුගේ මහතාට කොළඹ දිස්ත්‍රික්කයේ එතුමා අලුත් කණ්ඩායමකට අවස්ථාව දුන්නා වගේම ඒ කණ්ඩායම පහුගිය අවුරුද්ද දෙක තුන ඇතුළත පුහුණු කළා. ඒ වගේම සී.බී. රත්නායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය වගේම සිරිපාල ගම්ලත් මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයට අලුත් කණ්ඩායමට අවස්ථාව දුන්නා. මොවුන් පහුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන කාරණයත් සමඟම ඒ සඳහා නව නායකයන් මේ දිස්ත්‍රික්කවලින් බිහිකළ යුතුයි කියන මතයේ සිටගෙන අලුත් කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටිනවා. අලුත්වුණු පොහොට්ටුවේ අවුරුදු 40ට අඩු අපේක්ෂකයන් 103ක් ඉන්නවා. ඒ වගේම සමස්තයක් වශයෙන් අවුරුදු 50ට අඩු සියලුම අපේක්ෂකයන් 164ක් අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒ අය අතර කාන්තා අපේක්ෂිකාවන් ජාතික ලැයිස්තු ඇතුළු 24ක් ඉදිරිපත් වෙලා සිටිනවා.

මේ අනුව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සමස්ත අපේක්ෂකයන්ගෙන් 62% ට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 50ට අඩු තරුණ කණ්ඩායමක් අපි ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව අපි ප්‍රතිපත්තිමය දේශපාලනය කරන දේශපාලන බලවේගයක්. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකත්වය කේන්ද්‍ර කරගෙන යන දේශපාලන බලවේගයක් නොවේ. අපි මේ රටේ අනාගතවාදීව ඊළඟ පරම්පරාවට මේ රට ගොඩනැඟිය යුතුයි කියන මතය වගේම දැක්මක් එක්ක දේශපාලනය කරන කණ්ඩායමක්. එදා ජනාධිපතිවරණ මැතිවරණය වෙලාවේ නොයෙක් හේතුන් නිසා සමහර පිරිස් ඡන්දය දාන්න ගියේ නැහැ. ඒ වගේම තවත් සමහරු වෙනත් දේශපාලන බලවේගවලට ගියා. කෙටිකාලයක් තුළ අපේ කඳවුරේ ඡන්ද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වැල් බැඳගත්තා. ඔවුන්ගේ ප්‍රතිපත්ති වමේ දේශපාලනිකව හෝ ආර්ථික ප්‍රතිපත්ති නොවුණත්. මේ කාරණත් එක්ක පසුබෑමකට ලක්වුණා. නමුත් අද නැවත වතාවක් හැම දිස්ත්‍රික්කයකම පහුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය පාවිච්චි නොකළ බොහෝ පිරිස් අපේ පක්ෂය සමඟ නැවත වතාවක් අත්වැල් බැඳගනිමින් සිටිනවා.

ඒ අනුව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා අපේ අපේක්ෂක කණ්ඩායම නව මුහුණුවරක් එක්ක මේ මැතිවරණයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් නියෝජනය කරන්න අපට හැකියාව ලැබෙයි කියලා. අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේ. අපට පැහැදිලිවම වැඩපිළිවෙළක් තිබෙනවා. අද වර්තමාන ආණ්ඩුව දිහා බැලුවාම ඔවුන් මැතිවරණ වේදිකාවේ කියපු බොරු පොරොන්දු ඉෂ්ට කරගන්න විදිහක් නැතිව අද කෙඳිරි ගානවා. ඔවුන් මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න කියපු සියලු කාරණා අද බොරු බවට ඔප්පු කරගන්න විදිහක් නැතිව අද සමාජයේ පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ වෙනසක් හොයාගෙන මාලිමාව සමඟ සම්බන්ධ වෙච්ච සමහර අවංකව වෙනසක් කළයුතුයි කියා විශ්වාස කරපු සමහර තරුණ සහ උගත් බුද්ධිමත් කියන දේශපාලනඥයොත් බොරුකාරයෝ බවට පත්වෙලා සිටිනවා. අපි ආණ්ඩුවෙන් පැහැදිලිව අහන්නේ ඔබ මේ රටේ තරුණ ප්‍රජාවට රැකියා උත්පාදනය කිීමට ගන්නා වැඩපිළිවෙළ කුමක්ද? ආර්ථිකමය වශයෙන් මේ රට ඉදිරියට අරගෙන යන්න මේ ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? එය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ වැඩපිළිවෙළ නම් එය ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද ? මේ අනුව පහුගිය කාලසීමාවේ ආණ්ඩුව කියපු බොරු අද ආණ්ඩුව විසින්ම තමන් අවබෝධයෙන් ප්‍රකාශ කළා කියන තැනට වැටිලා තිබෙනවා.

මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි වැඩ කළ දේශපාලන පක්ෂයක්. අපි මේ රටේ උතුරත් දකුණත් යා කළ පක්ෂයක්. ජාතීන් අතර අසමඟිය ඇතිකර රට බෙදන්න උත්සාහ කරන දේශපාලන පක්ෂයක් නොවේ. අපි පැහැදිලිව ඒකීය රට ආරක්ෂා කළයුතුයි. ඒ අනුව මම ගෞරවයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද පොළට යන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත්, ඔබ විශ්වාස කරන, ඔබ නියෝජනය කරන්න පුළුවන්, ඔබේ හඬ පාර්ලිමේන්තුවේ අවදි කරන්න පුළුවන්. ඔබේ මන්ත්‍රිවරු පත්කර පාර්ලිමේන්තුවට යවන්න කියලා ආදරණීය ඉල්ලීම කරනවා. ” යැයි සඳහන් කළේය. අපි පිළිගත් දේශපාලන පක්ෂයක් සහ දේශපාලන ස්ථාවරයක් වගේම ප්‍රතිපත්තියක් තිබෙන දේශපාලන පක්ෂයක්. අපි දකිනවා සමහර අවස්ථාවලදි නායකයෝ අලුත් පක්ෂ ගොඩනඟනවා තමන්ට පාර්ලිමේන්තුවට යන්න. තවත් සමහරු ස්වාධීනව ඉල්ලනවා තමන්ට පාර්ලිමේන්තුවට එන්න ඕනෑ වුණාම. එසේ නැතිනම් තමන්ට ඉල්ලලා දිනාගන්න පුළුවන් කියන තැනට ගිහින් දේශපාලනය කරනවා. හැබැයි අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන කණ්ඩායමක්.

අපි එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කරන, නැතිනම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනඟාගන්න උත්සාහ කරන දේශපාලන බලවේගයක් නොවේ. අපි මේ රට ගොඩනඟපු දේශපාලන බලවේගයක්. ඒ වගේම ඉදිරි කාලසීමාවේදීත් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන චෝදනා තිබෙන බොහෝ පිරිස පහුගිය ජනාධිපතිවරණයේදී අපේ පක්ෂය අතහැරලා ගියා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව වට්ටන්නත් ඔය කියන බොහෝ පිරිස් මැදිහත් වුණා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට පුළුවන් ඒ චෝදනා පිළිබඳව විශේෂයෙන්ම MNR හි දත්ත මකපු එක පිළිබඳව සොයා බලන්න. මම තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ අපි පැහැදිලිවම ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කෙරුවා. යම්කිසි හේතුවක් නිසා පරීක්ෂණය ඉදිරියට ගියේ නැහැ. වර්තමාන ආණ්ඩුව පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා රටේ ආර්ථිකයටත් වඩා. ඒ නිසා එතුමන්ලාට ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන්න පුළුවන්. එය කළයුතු කාරණයක්. ඒ මැකිච්ච දත්ත පිටිපස්සේ තිබෙන්නේ කුමක්ද කියන කාරණය ඒ අවස්ථාවෙත් ප්‍රශ්න කළා.

අපි ආණ්ඩුවක් විදිහටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ආරම්භ කළත් 2022 න් පසු අපේ ආණ්ඩුව අතරමඟ නතර වුණා. ඊට පස්සේ ආපු ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට කියන්නේ මේ දත්ත මැකීම පිළිබඳවත් පරීක්ෂණයක් කරන්න. ඉදිරියේදීත් මෙය විය හැකියි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තාක්ෂණය සහ ඩිජිටල්කරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන නිසා. අපි පැහැදිලිවම තරුණ, උගත්, බුද්ධිමත් සහ මේ මහපොළොව හඳුනන කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් පක්ෂවල අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපය පිළිබඳවත් ඔවුන් පිළිබඳව තිබෙන චෝදනා පිළිබඳවත් මට නිශ්චිතව ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ. ඒ වගේම චෝදනා කියන දේවල් හුදෙක් දේශපාලනික වශයෙන් පහුගිය කාලසීමා තුළ හැම දේශපාලන පක්ෂයකටම එල්ල කළා. අපි මේ එකිනෙකාට ඇඟිල්ල දික්කරගැනීමේ දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනෑ.

ජනතාව බුද්ධිමත්. ඒ බුද්ධිමත් ජනතාව තීන්දු තීරණ ගනීවි. ඒ නිසා යම්කිසි කෙනෙක්ගේ චෝදනාවක් තිබෙනවා නම් ආණ්ඩුව උගන්ඩාවේ සල්ලි හොයනවා වගේම ඒ ගැනත් හොයන්න කටයුතු කළයුතුයි. අනුර කුමාර දිසානායක මහතා කතා කරන්නේ අඬන්න. කඳුළු එන්න දිනන්න ඕනෑ කියලා කියන්නේ. ඒ නිසා අපට කඳුළු එන්න දිනන්න ඕනෑ නැහැ. අපි කඳුළු නවත්වන්න කටයුතු කරන දේශපාලන බලවේගයක්. අපි මිනිස්සු අඬවලා මිනිස්සුන්ට බොරු කියලා දේශපාලනය කරන්නේ නැහැ.

අපේ සියලු වෙනස්වීම් මේ මැතිවරණයෙන් පසු කරනවා. අභියෝගයක් තිබෙනවා ද ? නැත්ද කියන කාරණය තීන්දු කරන්නේ රටේ ජනතාව. ජනතාවට පාර්ලිමේන්තු තුළ නියෝජනය කරන්න පුළුවන් තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් මන්ත්‍රීවරු බවට පත්කර පාර්ලිමේන්තුවට එවයි. මම හැමදාම කියන කාරණයක් තමයි දේශපාලනය කියන්නෙම අභියෝගයක්. අපි ගනුදෙනු කරන්නේ ජනතාව එක්කයි. ජනතාවගේ අවශ්‍යතා කාලයෙන් කාලයට වෙනස්. අපි ඒවා හඳුනාගත යුතුයි. අපි යම්දුරකට හඳුනා ගත්තේ නැති නිසා තමයි අපි පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ.

අපේ ශක්තිමත් කණ්ඩායමක් සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති විශ්වාස කරන කණ්ඩායමක් සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතයේ අඩුව අපි කාටවත් පුරවන්න බැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ අපේ කඳවුරට සාධාරණයක් කරන්න අපි සූදානම්. ආණ්ඩුව කියන්න ඕනෑ ඇයි ත්‍රීපෝෂ සමාගම වහන්නේ කියන කාරණය. මම දැක්කා ගැසට්ටුවක් ගැහුව්වේ නැහැ කියලා ආයේ වතාවක් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුවට තිබෙන ලොකුම අභියෝගය ආණ්ඩුවමයි. මේ ආණ්ඩුවට තිබෙන ලොකු අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය. කිසිකෙනෙක් එක මතයක නැහැ. ආණ්ඩුව කරන දේවල් බොහෝ කාරණා ආණ්ඩුව දන්නෙත් නැහැ. අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන සමහර ප්‍රකාශ ජනාධිපතිවරයා දන්නෙත් නැහැ. මේ ආණ්ඩුවේ තාම තුන්දෙනයි ඉන්නේ. ගැසට්ටුවක් ඒ තුන්දෙනා කතා කරලා ගැහුව්වනම් ඉවරයි. එසේ නැතිනම් නොගහා සිටියානම් හොඳයි අඩුම තරමේ පාර්ලිමේන්තුව පත්වෙනකම්. මේ තුන්දෙනෙක්ට මේක කතා කරලා බේරගන්න බැරිනම් 25ක් තව එකතු වුණාම කොහොම වෙයිද කියලා හිතාගන්න අමාරුයි. කෙසේ වෙතත් පැහැදිලිව ආණ්ඩුව ඒ ජනතාවට දීපු කාරණා ඉෂ්ට නොකරන බවක් පේනවාÓ යැයි පැවසීය.