බදුලු ඔය පිටාර ගලා පවුල් 62ක 222ක් විපතට

බදුල්ල ප්‍රදේශයේ ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් පවුල් 62ක සාමාජිකයන් 222ක් විපතට පත් වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ඊයේ (10) පැවසීය.

එමෙන්ම බදුල්ල නගරය සහ අවට ප්‍රදේශ රැසක පස්කඳු, ගල්පර්වත හා ගස්කොළන් කඩාවැටීමෙන් මාර්ග රැසක් අවහිර වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. මේ ආපදා තත්ත්වයෙන් බදුල්ල සුමනතිස්සගම, කයිලගොඩ, බදුලුපිටිය, අංදෙණිය යන ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ධාරානිපාත වර්ෂාවත් සමඟ හාලිඇළ කැටවල මාර්ගය විශාල ගසක් කඩාවැටී අවහිර වී තිබූ අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය යෑමක් නිසා ඒ මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව තිබිණි. බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කිලෝමීටර් කණුව අසල නාය යෑම සක්‍රීය වෙමින් මාර්ගයට පස්කඳු ගල්පර්වත කඩාවැටීම නිසා වැලිමඩ බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක මංතීරුවකට පමණක් සීමා කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. එසේම, පස්සර ලුණුගල මාර්ගයේ අමුණුවත්ත සිට පීස්සගම හන්දිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුළු නාය යෑම් සිදු වී තිබිණැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. එම මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා පරිස්සමෙන් ආරක්ෂිත ව පදවන ලෙසට රියදුරන් ට උපදෙස් දෙයි. වර්ෂාවත් සමඟ හාලිඇළ නගරයේ තැපැල්හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ගමනාගමනය ට බාධා සිදුව තිබූ අතර, නගරයේ වෙළෙඳසල් රැසක් ජලයෙන් යට වී දේපළ රැසකට අලාභහානි විය.

බදුල්ල ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ මේ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ හපුතලේ මාගිරිපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් 4ක් දැනට තාවකාලිකව නැදෑ නිවෙසක නතර වී සිටින අතර, ආපදාවලින් විපතට පත් වූ පවුල් 54කට වියළි සලාක ආහාර ද්‍රව්‍යද, පවුල් 183කට පිසූ ආහාරද දෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර බදුලු ඔය පිටාර ගැලීමෙන් යට වී තිබූ නිවාස මෙන්ම අපද්‍රව්‍ය සිර වී තිබූ කනුපැලැල්ල ඔයේවත්ත පාලම, දෙයියන්නේවෙල පාලම, කයිලගොඩ අංදෙණිය පාලම ඇතුළු ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරිම ඊයේ (9) බදුල්ල මහ නගර සභාවේ සේවකයන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිස එක්වී ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටියහ.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාද ඊයේ (9) ගංවතුරින් විපතට පත්වූ සුමන තිස්සගම ඇතුළු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.