චක්‍රලේඛ තේරුම් නොගෙන බොරු කීම සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා-ජාජබ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වහන්න යනවා කියලා අද අලුත් බොරුවක් ගොතාගෙන යනවා. අතේ පැළවෙන බොරු නොකියා සතියක්වත් දුවන්න පුළුවන් බොරුවක් ගොතන්න ඕනෑ. චක්‍රලේඛ වැරදියට තේරුම් අරන් ජනතාවට බොරු කියන එක දැන් සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“මේ අය කොච්චර බය වෙලා ද කියනවා නම් දැන් ආයි අලුතෙන් බොරු ගොතන්නත් පටන් අරන් තියෙනවා. අඩුම තරමින් සතියක්වත් තියාගන්න පුළුවන් බොරුවක් කියන්න ඕනෑ. මේ ඊයේ පෙරේදා ආයෙත් බොරුවක් ජනගත කරන්න උත්සාහ කරමින් ඉන්නවා අතේ පැළවෙන බොරු. ත්‍රිපෝෂ හදන කොම්පැණිය වහල කියලා බොරු ගහන්න පටන් ගත්තා. මේ බොරු ප්‍රචාරය කරන්නේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මවුවරුන්ගේ පෝෂණය දරුවන්ගේ පෝෂණය ගැන ඇති තරමට කතා කරලා තියෙන අවස්ථාවකයි. ඇත්ත තත්ත්වය ජනතාවට කියන්නැතුව ගහපු චක්‍රලේඛය වැරදියට තේරුම් අරගෙන ජනතාවට බොරු කියනවා. අපි රටේ සියලු කර්මාන්ත නැවත අරින්න සැලසුම් කරලා තියෙන අවස්ථාවක බොරුවක් වුණත් හරියට කියන්න මේ අය දැනගන්න ඕනෑ.

“අදත් ඒ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලා වැඩ. හැබැයි අවුරුදු තුනට අඩු දරුවන්ටත් මවුවරුන්ටත් දෙන ත්‍රිපෝෂ හදන්න ගන්න බඩඉරිඟු ඇටවල තිබිය යුතුම පෝෂණ කොටසක් වන ටොක්සින් පිළිබඳ මත දෙකක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඒ නිෂ්පාදන දෙක පිළිබඳ නිවැරැදි තීරණය ගන්න කටයුතු කළා” යැයි ද කීවේය.