කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු සොයා බැලීමට නිරත වූ හදිසි නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ‍රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා විසින්.

කොළඹ වරායෙන් දිනකට බහාලුම් 1500ක් පමණ නිෂ්කාශනය වන අතර එය දිනකට 2500ක් දක්වා වැඩිවන අවස්ථාද පවතින බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙම බහාලුම්වලින් රේගු පරීක්ෂාවට ලක්වන්නේ සියයට 35 ක් පමණ වන අතර ඉතිරි සියලු බහාලුම් රේගු පරීක්ෂාවකින් තොරව පැය කිහිපයක් ඇතුළත පරීක්ෂාවට ලක් කෙරෙන බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුවේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බදු ආදායම එක් රැස්කිරීම බව පෙන්වාදෙන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එය පසුගිය වසරේ රුපියල් බිලියන 975ක් සහ මේ වසරේදී රුපියල් බිලියන 1533ක දැවැන්ත ඉලක්කයක් කරා රේගුව ගමන් කරමින් සිටින බවයි පවසන්නේ.

එයින් රුපියල් බිලියන 1200 ක් ඉක්මවා දැනට උපයාගෙන ඇති අතර මෙම ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉහළ අවදානමක් ඇති බහලුම් පරීක්ෂාවට ලක් කළ යුතුව පවතින බව ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් භෞතික පරීක්ෂාව සඳහා බහාලුම් තෝරා ගනු ලබන්නේ අවදානම් කළමනාකරණ මූලධර්ම මත පදනම්ව ඉහළ අවදානමක් ඇති බහලුම් වන අතර මෙම පරීක්ෂාවන් නිසා පසුගිය වසරේදී රුපියල් බිලියන 15 ක පමණ අමතර ආදායමක් උපයාගෙන තිබෙනවා.

පරීක්ෂා කරන බහාලුම්වලින් සියයට 65% ක් 70% ක් අතර ප්‍රමාණයකින් යම්කිසි රේගු වරදක් සොයාගැණෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙන්නේ.