“දූෂණයෙන් හා වංචාවෙන් සූරාකෑ පිරිසක් දියවන්නාවෙන් අතුගා දමන ශ්‍රමදානයක් තමයි ලබන 14වැනිදා පටන් ගන්නේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරග වදින එරංග ගුණසේකර මහතාට සහයෝගය පිණිස කොළොන්නාවේ පැවති ජන රැලියකට සහභාගි වෙමිනි.
“විරුද්ධවාදීන් එදා ජනාධිපතිවරණයේදී අපෙන් ඇහුවේ මන්ත්‍රී ආසන 3ක් තියාගෙන කොහොමද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියලයි. අපි ඒ ජනාධිපතිවරණය දිනුවා පමණක් නොවෙයි. ඇමැතිවරු දෙන්නෙක් ඉන්නා ලෝකයේ පළමුවන ආණ්ඩුව පිහිටුවලත් පෙන්නුවා. මේ රටේ ප්‍රථම වතාවට ජයග්රහණයෙන් පසු කිසිම විරුද්ධවාදියකුට කිසිම හිංසාවක් නොවූ එකම මැතිවරණය එයයි. ඔවුන්ගේ ද සහයෝගය ඇතිව මේ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්න පුළුවන් තරමට විශ්වාසයක් දිනාගන්න මාලිමාව සමත්ව සිටිනවා” යැයි ද ඒ මහතා කීය.
“දැන් විරුධවාදින් පොල්, බිත්තර ප්‍රශ්නයක් අල්ලාගෙන ඒවා හරියට අපි කරපු දේවල් වගේ පෙන්නන්න හැදුවත්, පොල් ඉඩම් කුට්ටි කර විකුණා පොල් ගස් විනාශ කර දැමුවේත්, කුකුළු ආහාර මිල ඉහළ දැමුවේත් කවුද කියා රටේ ජනතාව දන්නවා. අපි මෙදා ජනාධිපතිවරණය දිනුවේ පාර්ලිමේන්තුවේත් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන අඩුම කැබිනට්ටුවක් සහිතව ජනතාවට දියහැකි හැම සහනයක්ම පවතින අණපනත් සංශෝධනය කර හෝ ජනතාවට ලබාදී රට හදන්න මිස අතරමඟ දාලා යන්න නෙවෙයි” යනුවෙන් ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.