බදුල්ල නගරය අවට ප්‍රදේශයට ඊයේ (8) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කඳු, ගල්පර්වත, ගස්කොළන් කඩාවැටී මාර්ග රැසක් අවහිර වී, බදුලු ඔයේ ජල මට්ටමද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ, බදුලුපිටිය, දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේය. එක්වරම පතිත වූ මහා වර්ෂාවත් සමඟ හාලිඇළ කැටවල මාර්ගයට විශාල ගසක් කඩාවැටී අවහිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය මක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව තිබිණි. මේ අතර බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කනුව අසල නාය යෑම සක්‍රීය වෙමින් මාර්ගයට පස්කදු ගල්පර්වත කඩාවැටීම නිසා වැලිමඩ බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරිණි. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ පාලම අසල නායයෑම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිට ඇති අතර, බදුලු ඔයේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහයෑම නිසා උඩුවර 5 කනුව පාලම ජලයෙන් යට වී ගමනාගමනය ට බාධා සිදු විය . මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ ජලයෙන් යට වී ඇති හෙයින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියෝ කල්වේලා ඇතිව නිවාසවල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ. පස්සර ලුණුගල මාර්ගයේ අමුණුවත්ත සිට පීස්සගම හන්දිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුළු නායයෑම් සිදු වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. වර්ෂාවත් සමඟ හාලිඇළ නගරයේ තැපැල් හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ගමනාගමනයට බාධා සිදුව තිබූ අතර, නගරයේ වෙළෙඳසල් රැසක් ජලයෙන් යට වී දේපළ රැසකට අලාභහානි විය.
මේ වන විටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පවතින අතර මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, වර්ෂාව තව දුරටත් පවතින හෙයින් බදුලු ඔය දෙපස පදිංචිව සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා දැනුම් දී සිටී.