මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනිමින් සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන අද (08) සිට සති 4 ක් පුරාවට ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
පසුගිය 04 වැනිදා සිට 09 වැනිදා දක්වා කාලය තුළ සරම්ප එන්නත්කරණ විශේෂ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි. විශේෂයෙන්ම වයස අවුරුදු 20ත් 30ත් අතර කණ්ඩායම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර එන්නත් ලබානොගෙන ඇති සෙසු සියලු දෙනා ද එන්නත්කරණයට ලක් කිරීම මෙහි දී සිදුකරයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත්කරණ දිනයන් සම්බන්ධයෙන් දැනුම්වත්ව එන්නත් ලබා ගන්නා ලෙසට සියලු ප්‍රජාවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සරම්ප ආසාදිත එක් රෝගියකුගෙන් තවත් පුද්ගලයන් 10ත් 18ත් අතර පිරිසකට වයිරසය වාතය මඟින් බෝ වීමේ හැකියාව පවතියි.
සරම්ප රෝගය මෙරටින් තුරන් කළ රෝගයක් වුවත් 2023 වසරේ සිට නැවත රෝගීන් හමුවීම සිදු වූ බවත් එය පාලනය සඳහා කළ යුත්තේ එන්නත්කරණය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේය.
කලින් සරම්ප එන්නත ලබා නොගත් හෝ එකක් පමණක් ලබා ගත් අය සිටින්නේ නම් ඒ අය එන්නත්කරණයට යොමු කිරීම මේ වැඩපිළිවෙළ යටතේ සිදුකරන බවත් සරම්ප රෝගය වසංගත මට්ටමෙන් ආසියානු රටවල පැතිරෙමින් පවතින බවත් ඒ මහතා කීය. ආසියානු කලාපයේ අවදානම ලංකාවටත් තිබෙන නිසා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ඒ මහතා පැවසුවේය.