ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය හොඳ තීරණයක්. වී අලෙවි මණ්ඩලයට මුදල් දුන්නොත් ආර්ථිකය කඩා වැටෙනවා කියමින් ගිය ආණ්ඩුවේ වී මිලදී ගැනීමට මුදල් නොදුන් නිලධාරින්ම තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බව හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඉදිරි මහ කන්න දෙකක් අපේ ගොවි ජනතාවට හොඳම බණ්ඩි පොහොර නොමිලේ ලබාදීමට අදාළ සියලු කටයුතු තමා කෘෂිකර්ම ඇමැති තනතුරෙන් ඉවත් වන විට සම්පූර්ණ කර තිබූ බවත් ඒ අනුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් රැගත් නැව දෙසැම්බර් මුල් සති දෙකේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් අමරවීර මහතා කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ තංගල්ලේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී අමරවීර මහතා මෙසේද කීය.
අපේ ආණ්ඩුව කාලේ හිටපු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වී මිලදී ගන්න මුදල් දුන්නේ නෑ. ඒ අයම තමයි දැනුත් ඉන්නේ. එහෙමනම් වී අලෙවි මණ්ඩලයට දැන් මුදල් දුන්නොත් ආර්ථිකය කඩා වැටෙන්නේ නැද්ද කියා මම අහනවා. කොහොම නමුත් සහල් මාෆියාව දුර්වල කරන්න නම් වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කළ යුතුම වෙනවායිද අමරවීර මහතා කීය.
රජයට කෘෂිකර්ම ඉදිරි වැඩපිළිවෙළ රැසක් අපි පහසු කළා. අපට ආණ්ඩු බලය නැතිවන බව දැනගෙන වුණත් රට කඩාකප්පල් කරන්න කටයුතු කළේ නෑ. අපට අවශ්‍ය රටට වැඩ කරන්න මිස පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගන්න නොවෙයි. මේ පොහොර තොගය ලෝක ආහාර වැඩසටහන මගින් අපට දෙනවා. සාමාන්‍යයෙන් එක් මහ කන්නයකට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් අවශ්‍යයි. ඒ අනුව මහ කන්න දෙකක් අපේ රටේ සියලු වී ගොවීන්ට මේ බණ්ඩි පොහොර නොමිලේ ලබා දිය හැකියි. ඒ වගේම ඉතිරි බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 5000 බඩ ඉරිඟු ගොවීන්ට නොමිලේ ලබා දෙනවා. මේ පොහොර තොගය බෙදා හැරීම හා වැට් බදු සඳහා රුපියල් බිලියන 2.5ක් අවශ්‍යයයි. එම මුදල් මගේ යෝජනාවක් පරිදි එවකට මුදල් අමාත්‍ය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙන් කළා. රටේ අර්බුද ඇති කර රට වට්ටවලා බලය ලබා ගැනීම අපේ අරමුණ නොවෙයි. අර්බුද නිර්මාණය කර බලයට එන ආණ්ඩුවකට වැඩි ආයුෂ නෑ කියන එක පසුගිය කාලේ අපේ රටෙන්ම ඔප්පු වුණා.
වයසක මිනිහෙකුට ගෙදර යතුරවත් දෙන්නේ නෑ කියමින් සමහරු වියපත් දේශපාලකයන්ට අපහාස කළා. තරුණබව හැමදාම රැඳෙන්නේ නැහැ. දේශපාලනයේදී අත්දැකීම් හා පළපුරුද්ද තිබිය යුතුයි. අද ලෝකයේ බොහෝ රටවල් පාලනය කරන්නේ වයසින් වැඩි දේශපාලකයෝ. එක්සත් ජනපදයේ ජනතාවත් තමන්ගේ රටේ පාලකයා ලෙස පත් කර ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මාලිමාව තරුණයන්ට තැන දෙනවා කිව්වත් අද හම්බන්තොටට දාල ඉන්නේ අවුරුදු හැත්තෑවක කෙනෙක්. එහෙම නම් එයට සාපේක්ෂව මම තරුණයෙක් යැයිද අමරවීර මහතා කීය.