වසර 2022 සැප්තැම්බරයේදී දේවගැතිවරයකුගෙන් අමෙරිකානු ඩොලර් දෙදහසකට අධික ‘ඩියෝර්‘ වර්ගයේ කාන්තා ගමන් මල්ලක් තෑගි වශයෙන් ලබාගත් බවට සිය බිරියට එල්ල වූ චෝදනාවට තමා ජාතියෙන් සමාව ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට රජයට අයත් රූපවාහිනි නාළිකාවෙන් ජනතාව ඇමතු ජනාධිපතිවරයා සිය බිරිය අපහසුතාවට පත් කිරීමට විරුද්ධ පක්ෂ විසින් එවැනි චෝදනා රැසක් එල්ල කර ඇතැයි ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දකුණු කොරියාවේ ජනාධිපති ආර්යාව ලෙස කිම් කියොං හේ මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඇගේ කාර්යභාරය අධීක්ෂණය කිරීමට කාර්යාලයක් ස්ථාපිත කරන බවද සඳහන් කර තිබේ. කෙසේ වුවද ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස විපක්ෂය විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කර තිබේ.