පෞද්ගලික ඔසුසල් පවත්වාගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදෙන බලපත්‍ර සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් දහස් ගණනක් ජනවාරි මස වන විට වැසී යෑමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසයි.
වසර 10 කට වැඩි කාලයක් පමණ පවත්වාගෙන පැමිණි පෞද්ගලික ඔසුසල් පවා වසා දැමීමට සිදු වන අවදානමක් පවතින බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හෝ වෙනත් පුද්ගලයකුගේ බලපෑමක් හේතුවෙන් මේ අවදානම මතුව ඇති බවත් එම සංගමය සඳහන් කරයි. රට පුරා පිහිටි පෞද්ගලික ඔසුසල් 5000ක පමණ වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම් පත්‍ර රැසක් අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ඔසුසල් වසා දැමීමට සිදු වනු ඇතැයි සංගමය පවසයි.
පෞද්ගලික ඔසුසල්වල වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක්ගෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්.ඒ.අයි. අනුරුද්ධ මහතා පැවසුවේය.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වාදීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නා තෙක් බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබිණි. මේ අතර ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වැනිදා තීන්දුවක් ගෙන තිබේ. එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් මහතා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබේ. එම සංගමය පෙන්වා දෙන්නේ පෞද්ගලික ඔසුසල් බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවය. බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට වීම ද විශේෂත්වයකි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමසිංහ මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික ඔසුසල්වලට බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාවට නැංවූ ක්‍රමවේදයෙන් වෙනසක් කර නොමැති බවත් මෙතෙක් ලබා දුන් ක්‍රමවේදයට අනුව බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් ය.