පසුගිය වසරේ දී නැඟෙනහිර පළාතට ශ්‍රී ලංකා රුපියල් කෝටි 235ක පමණ බහු ආංශික නව ප්‍රදාන පැකේජයක් ලබාදීමට එකඟ වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කරයි.මේ පැකේජය යටතේ ජීවනෝපාය ව්‍යාපෘති 33ක් සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් රාමුවක් නිම කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඉන්දීය ප්‍රදාන යටතේ ඉදිකළ මඩකළපුව ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුන් විසින් මඩකළපුව ශික්ෂණ රෝහලේ අලුතින් ඉදිකළ ශල්‍ය ඒකකය ජනතා අයිතියට පත්කරන ලද අතර මඩකළපුව දිසාපති මුරලිදරන්,නැඟෙනහිර පළාත් සෞඛ්‍ය ලේකම් සහ නාගරික කොමසාරිස් සිවලිංගම්, මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කලාරංජනී ගනේෂලිංගම් මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මඩකළපුව දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මඩකළපුව ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
රෝහලේ පහසුකම් සීමිත වීම හේතුවෙන් ඉතා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට රෝගීන්ට සිදුව තිබිණ.ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉන්දීය රජය නව ශල්‍ය ඒකකයක් ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදීමට එකඟ විය. මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 275ක ඉන්දීය ප්‍රදානයක් ලබාදීම වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට 2016 පෙබරවාරි මස අත්සන් තබන ලද අතර අනතුරුව ඉන්දීය රජය අමතර අරමුදල් ද මේ සඳහා යෙදවූ අතර ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය ලබාදුන් සමස්ත සහයෝගය ශ්‍රී ලංකා රුපියල් මිලියන 302කි.
නවීනතම තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර හතරකින් සහ දැඩි සත්කාර ඇඳන් 10කින් සමන්විත දෙමහල් ගොඩනැඟිල්ලක් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙයි.මෙයට අමතරව රෝහල් අධිකාරියේ ඉල්ලීම් මත පදනම්ව ඉන්දීය රජය අසල වකුගඩු ඒකකයේ සිට නව ශල්‍ය ඒකකය වෙත විදුලිජනක යන්ත්‍ර ද, වෛද්‍ය වායු සහ විදුලි පද්ධතීන් ඒකාබද්ධ කිරීම වැනි විවිධ අමතර කර්තව්‍යයන් සඳහා ද අනුමැතිය ලබා දී ක්‍රියාවට නැංවීය.