අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය සවිමත් කිරීම සඳහා අවස්ථාවක් වනු ඇතැයි ආර්ථික හා දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
එ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත්වීම ශ්‍රී ලංකාවට ද වැදගත් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වාදෙයි.
මීට පෙර තිබූ බලහත්කාරී බලපෑම්වලින් ශ්‍රී ලංකාවට නිදහස් වීමේ හැකියාව ඇතිවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා ඔහුගේ ජයග්‍රහණය මෙරට ආර්ථිකයට ද සුබවාදී වනු ඇතැයි කියයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ද ට්‍රම්ප්ගෙන් බලපෑම් එල්ල නොවනු ඇති බවට අපේක්‍ෂා කරන අතර ශක්තිමත් අමෙරිකාවක් අපේක්ෂා කළහැකි බව පෙන්වාදෙන මහාචාර්යවරයා ඒ සමඟම ගෝලීය මැදිහත්වීම්ලට ඇති ප්‍රවණතාවය සීමා කිරීමක් වියහැකි බවද පසුගිය කාලයේ ලොව පුරා සිදුවූ යුද්ධයන්ට ප්රතිවිරුද්ධව කටයුතු කරනු ඇතැයි ද විශ්වාසය පළකරයි.
ශ්‍රී ලංකාව වැනි රටවලට ද පසුගිය ඩිමොක්රටික් පක්ෂ පාලන කාලය තුළ එල්ලවූ බලහත්කාරයෙන් දේශපාලන, සමාජ, ආර්ථික බලපෑම් යම්කිසි ආකාරයකට නිදහස්වීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඒ අනුව අපේ රටේ ජාතික ආර්ථිකය සහ ජාතික සුරක්ෂිතතාව සහජීවනාත්මක පරිසරයක් තුළ පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ද පවසයි.
ලංකාවේ ආර්ථිකයට හොඳ ආකාරයෙන් බලපාන්න හැකිවනු ඇතැයි ද ඩිමොක්රටික් පක්ෂය ලෝකය පුරා ගෙනගිය මූල්‍ය ධනවාදය ඔස්සේ ලංකාව වැනි ආර්ථිකයන් හැකිළවීම හා ඒ ඔස්සේ අමෙරිකානු මූල්‍ය ආර්ථිකයේ සිරකරුවෙක් බවට මෙන්ම ඒ සඳහා සපයන ක්ෂේත්‍ර බවට පාවිච්චි කිරීමේ යුගය අවසන් වියහැකි බවද ඒ නිසාම අපේ රටවල මූල්‍ය ආර්ථිකයට වඩා නිෂ්පාදන ආර්ථිකයට ප්‍රමුඛත්වය දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවසථාව ලැබෙනු ඇතැයි ද කියා සිටීයි.
පෙරදිග, බටහිර මෙන්ම ලෝකයේ සෑම සංවිධානයක් සමඟම සමව කටයුතු කරමින් අපේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සවිමත් කිරීම සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළකරයි.