මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේ පිහිටි සමකගිනියා රාජ්‍යයේ මූල්‍ය විමර්ශන ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල්වරයා සිය කාර්යාලය තුළදී විවිධ සමාජ මට්ටමේ කාන්තාවන් 400කට අධික පිරිසක් සමඟ ලිංගිකව එක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට තොගයක් එරට දූෂණ විරෝධී නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එම නිලධාරින් විසින් සමකගිනියා රාජ්‍යයේ මූල්‍ය විමර්ශන ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල් බල්තසාර් එන්ගොංගාගේ නිවෙසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම වීඩියෝ පට තොගය හමුවී ඇති අතර, රජයේ කාර්යාලයක් තුළදී විෂමාචාර සිදු කිරීම සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ සිදුවීමට සම්බන්ධ වීඩියෝ පට වැටලීම සිදු කළ දූෂණ විරෝධී නිලධාරීන් විසින්ම සමාජ මාධ්‍යජාලා අතරට මුදා හැරීමෙන් මේ වනවිට එය සමකගිනියාවේ දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇතැයි ද වාර්තා වේ. මූල්‍ය විමර්ශන ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල්වරයා ලිංගිකව හැසිරී ඇති කාන්තාවන් අතර එරට ජනාධිපතිවරයාගේ සොහොයුරියක ද සිටින අතර, රජයේ ඇමැතිවරු 20 දෙනකුගේ බිරින්දෑවරු හා සොහොයුරියන් සමඟත් ඔහු ලිංගිකව හැසිරෙන වීඩියෝ පට ඒ අතර ඇති බව වාර්තා වේ. මීට අමතරව රජයේ ඉහළ නිලධාරින්ගේ බිරින්දෑවරු හා සොහොයුරියන් සමඟත්, සිය සොහොයුරාගේ බිරිය හා සිය ඥාති සොහොයුරියන් සමඟත් ඔහු ලිංගිකව හැසිරී ඇති බව එම වීඩියෝ පට මගින් හෙළි වී ඇතැයි වාර්තා වේ.
ඔහු එම විෂමාචාර සිදු කර ඇත්තේ සමක ගිනියාවේ මුදල් අමාත්‍යාංශයේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළ බවත්, එය නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් බවත් වැඩිදුරටත් වාර්තා වේ. චෝදනාව එල්ල වී ඇති මූල්‍ය විමර්ශන ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල්වරයා එරට ජනාධීපතිවරයාගේ බෑනනුවන් කෙනකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.