ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදීන්ට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ගලයකු පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම්, පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට පසුගිය 4 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා මහ බැංකුවේ දී එළැඹිණි.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ අවබෝධතා ගිවිසුමට පිවිසියේය.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ රෙජිස්ට්‍රාර් සංජීව විමලගුණරත්න මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය හා සහකාර අධිපති ඊ.එච්. මොහොට්ටි මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
මේ අවබෝධතා ගිවිසුම මඟින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හෝ එවැනි ක්‍රියාකාරකමකට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු වන ඕනෑම සිදුවීමක්, විමර්ශනයක් හෝ නඩු පැවරීමක් පිළිබඳ තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය සමඟ හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
එය මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීමට ඉතා වැදගත් වනු ඇත. මේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමත් සමඟ මූල්‍ය බුද්ධි ඒකකය, මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීමට තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් දේශීය රාජ්‍ය ආයතන 16ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇත. ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අනෙකුත් රාජ්‍ය ආයතන අතර වේ. එසේම, මූල්‍ය බුද්ධි ඒකකය විදේශීය පාර්ශ්ව 45ක් සමඟ ද අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.