කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය යනු පසුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන අතර 2022 ජනවාරි මස සිට ඉදිවෙමින් පැවති මෙහි කටයුතු තවත් වසර ගණනාවක් යනතුරු අවසන් නොවීය. දැනට පවතින තත්ත්වය අනුව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2026 නොවැම්බර් 15 දක්වා දිග්ගැස්සී ඇති බවට නිරීක්ෂණය වී තිබෙන නමුත් මෙහි දී සාධනීය මැදිහත් වීමක් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් කටයුතු කඩිනම් කර 2025 ජුනි 30 වෙනිදා වනවිට අවසන් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙහිදී විශේෂ අවධානයක් යොමු කර නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ බදු සහනයක් ලබා දී එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට මැදිහත්වීම් කර ඇති අතර මෙම පර්යන්තයේ ඉදිකිරීම් හා උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 750ක මුදලින් සියයට 20කට ආසන්න බදු කපා හැරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. වරාය අධිකාරියෙන් පූර්ණ වියදම දරන මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ලබාදුන් මේ සහනය නොවන්නට වරාය අධිකාරිය දැඩි මූල්‍ය අර්බුදයකට තල්ලු වීම නොවැළැක්විය හැකි බව වරාය කළමනාකාරීත්වය පවසයි.
මෙහීදී STS දොඹකර (Ship To Shoe Crain) 12ක් සහ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 40ක් ඇණවුම් කර තිබේ. එයින් STS දොඹකර 06 ක් සහ පර්යන්ත දොඹකර 20ක් මේ වනවිටත් ලැබී ඇති බව කළමනාකාරීත්වය පවසයි. මේ අනුව ලබන වසරේ මැද භාගය වනවිට වැඩ අවසන් වීමට නියමිත මෙම නැඟෙනහිර බහාලුම් පර්යන්තය නිසා කොළඹ වරාය ඉතා කාර්යක්ෂම වන අතර එය රටේ ආදායමට සුවිශේෂ මෙහෙයක් සිදුකරතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මීට අමතරව පර්යන්තය සහ ජැටිය අතර බහාලුම් මෙහෙයවීම සඳහා Straddle Carriers 30ක් ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත. ගෙන්වීමට යෝජිතව තිබූ ඩීසල්වලින් ක්‍රියාත්මක වන Straddle Carriers වෙනුවට නවීන තාක්ෂණය සහිත පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වර්ගයේ Straddle Carriers ලබාගැනීම සඳහා සුදුසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් නිර්දේශ ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙස ද ඒ මහතා විසින් උපදෙස් දී තිබෙන අතර ඒ අනුව ලබන වසර මැද භාගයේ නැඟෙනහිර බහාලුම් පර්යන්ත කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින අතර ඒ පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක් වරාය අධිකාරියේ සියලු සේවකයින් තුළ පවතී.