ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ‘වඩාත් කැමැති දිවයින (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයේ රැඳුණු අතර මෙවර ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවීම කැපීපෙනෙන පිම්මක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
මිලියන 3කට අධික සංචාරකයන් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද මෙම සම්මානය, ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය භූ දර්ශන සහ ලොව පුරා සිටින අමුත්තන් වශී කරවන පොහොසත්, ඉතිහාසය ඉස්මතු කර තිබෙන අතර ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ ලෙසින් හැඳින්වෙන ජාතියේ ඉතිහාසය සීගිරි පර්වතය, දඹුල්ලේ ලෙන් විහාර, අනුරාධපුර සහ පොලොන්නරුව පුරාණ නටබුන් වැනි දර්ශනීය ස්මාරක හරහා ජීවමාන වන බව ද කියාසිටියි.
දිවියන්ගෙන් පිරුණු ජාතික වනෝද්‍යාන සහ තංගල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයන්හි කැලෑවෙන් වැසී ගිය වෙරළ තීරයන් ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය පෙන්වන අතර තේ වතු, උස් බිම්, දිය ඇලි ආදිය ද සුන්දරත්වය ඉහළ නංවා තිබේ. මෙම කාණ්ඩය යටතේ රිදී සම්මානය තායිවානයට හිමිව තිබෙන අතර ලෝකඩ සම්මානය Puerto Rico වෙත හිමිවී ඇත. ඊට අමතරව ටොබැගෝ, ටස්මේනියා, බර්මියුඩා, කියුබා, බාර්බඩෝස්, මැඩගස්කරය සහ පාලවන් ලොව වඩාත් කැමැති දිවයින් අතර වෙයි.
අනෙකුත් කාණ්ඩවල දී, ඔස්ට්‍රේලියාව වඩාත් කැමැතිම රට ලෙස තේරී පත් වූ අතර එම කාණ්ඩය යටතේ රිදී සම්මානය කැනඩාවටත් ලෝකඩ සම්මානය ජපානයටත් හිමිව තිබේ. ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදය, නවසීලන්තය, කොස්ටරිකා, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, දකුණු කොරියාව, පේරු යන රටවල් ද කැමැතිම රටවල් අතර පෙරමුණේ පසුවෙයි.
මේ අතර ටෝකියෝ නගරය වඩාත් කැමැතිම නගරය ලෙස තේරී පත්ව තිබෙන අතර එහි රිදී සම්මානය සිංගප්පූරුවට ද ලෝකඩ සම්මානය රියෝද ජනීරෝ නගරයට ද හිමිව තිබේ. ඊට අමතරව සිඩ්නි, කේප් ටවුන්, වැන්කුවර්, බුවනෙස් අයිරිස්, නිව් ඔලියන්ස්, හොංකොං සහ චිකාගෝ නගර වඩාත් කැමැති නගර අතර වෙයි.