විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවේ දී මහජනතාව මෙන්ම ජනාධිපතිවරයා පවා අසීරුතාවට පත්වූයේ දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු නිසා යැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මහජනතාව අසීරුතාවට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන්දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ. ශ්‍රී ලාංකේය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන ලද සහ නිකුත් කර ඇති ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නොවන බව ද සංගමය කියා සිටියි.
අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකේය පුරවැසියන්ට විදේශ ගමන්බලපත්‍රයක් ලබාදීම සුමටව සිදුවිය යුතු කාර්යයක් වුවද, පසුගිය කාලයේ දී ආරම්භ වී මේ දක්වා ක්‍රියාත්මක වන අර්බුදයක් බවට ගමන්බලපත්‍ර නිකුතුව පත්වී ඇත. දෙපාර්තමේන්තුගත සේවයේ මාණ්ඩලික හා විධායක ශ්‍රේණිවල නිත්‍ය නිලධාරීන් වන අප මෙම තත්ත්වයෙන් මහත් වූ අසීරු තත්ත්වයන්ට පත්ව ඇත.
2024 වර්ෂයේ දෙවන කාර්තුවේ පමණ සිට මෙම අර්බුදය ආරම්භ විය. මේ සඳහා බලපෑ කරුණු රාශියක් ඇති බවට නිරීක්ෂණය වූ අතර ඉන් ප්‍රධාන කිහිපයක් පහත පරිදි ලඝු කළ හැකි බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව නිසි ගමන්බලපත්‍ර තොග ප්‍රමාණයක් නොවීම, මිල දී ගැනීම් කාලීනව සිදු නො කිරීම, නිවැරදි ලෙස පුරවැසි ඉල්ලුම පුරෝකථනය නොකිරීම,
පවත්නාවූ තත්ත්වයන් කාර්යක්ෂම හා කඩිනම් නොකර මාර්ගගත අයදුම්පත් ක්‍රමයක් මීට පෙර ද අවිචාරශීලීව ආරම්භ කර එය අසාර්ථකභාවයට පත්වූ පසු එය අතහැර දැමීම, ඉහළ පරිපාලනයේ කිහිප දෙනකු පමණක් තීරණ ගැනීම, (පාලක ජනරාල් /අතිරේක පාලක ජනරාල්/ ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ පාලක). දෙපාර්තමේන්තුගත නිත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී නොසලකා හැරීම හා තීරණ හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක කිරීම, නියමු ව්‍යාපෘතියක් හෝ සැබෑ ඌනතා අධ්‍යයනයන්ගෙන් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කාර්යයන් නොකිරීම, දේශපාලන අධිකාරියේ අදහස්, නියෝග අවිචාරාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම,
මහජන සේවය වෙනුවට පෞද්ගලික වරප්රසාදයන්ට මුල් තැනදීම., පහසුවෙන් මහජන අවශ්‍යතා හඳුනාගෙන පැහැදිලි තීරණ ගැනීම මගින් අර්බුදය යම් ප්‍රමාණයකට සමනය කළ හැකිව තිබුණි.
දුරකතනය මගින් කරන විමසීම්වලට පිළිතුරු ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම, වගකිවයුතු නිලධාරීන් සේවය පැහැර හැරීම හා අවම වශයෙන් දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ නොවීම, මාධ්‍ය මගින් ලබාගත හැකිව තිබූ සහයෝගය ලබා නොගැනීම, දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණ විමසීම් කරනු ලබන සේවාලාභීන්ට පවා සාර්ථක පිළිතුරු විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනා නොගැනීම හා ක්‍රියාත්මක නොකිරීම, පළපුරුදු, නිත්‍ය සේවක ප්‍රජාවේ දැනුම, අත්දැකීම් ලබාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම, පීඩාකාරී රාජකාරි පරිසරයක් තුළ සේවක ප්‍රජාව සිර කිරීම,
තෘප්තිමත්, ප්‍රසන්න පරිසරයක සිදු වූ රාජකාරි කටයුතු අතෘප්තිමත්, අප්‍රසන්න තත්ත්වයකට පත් කිරීම, අසාධාරණ, අනීතික තත්ත්වයන් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම හා අසමාන ලෙස සැලකීම වර්ධනය කිරීම, බහුතරයකගේ අයිතිවාසිකම් ලබාදීම වෙනුවට සුළුතර අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීම තුළින් සේවක කැපවීම හීනවීම නිසා සමස්ත කාර්යසාධනය අවම වී මහජන සේවයට බාධා ඇතිවීම වැනි කරුණු රැසක් මේ අර්බුදයට හේතු වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම වැඩි වුව ද නිවැරදි ධාරිතාවයෙන් හිස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමට දෙපාර්තමේන්තු පරිපාලනය අපොහොසත් වීම, ජාතික අවශ්‍යතාවට ගැළපෙන පරිදි දෙපාර්තමේන්තු පරමාර්ථ සාධනයට කටයුතු නො කිරීම හා අවශ්‍යතා හඳුනාගෙන ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි නොකිරීම, විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධි තාක්ෂණික ලියවිල්ලක් වුවද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම, .
ටෙන්ඩර් ප්රදානය කළ සමාගමේ ශක්‍යතාව පිළිබඳ අවධානය යොමු නො කිරීම සහ දෙපාර්තමේන්තුව වෙත හිස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කාලපරාසය නිශ්චිතව නව සමාගමෙන් ලබා නොගැනීම ආදිය ද ඊට බලපෑ බවත් පෙන්වා දී තිබේ.
නැවත කොපමණ ප්‍රමාණයක් කෙදිනක සැපයීම කරනවා ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු නැත. මේ හේතුවෙන් මහජනතාව අසීරුතාවට මුහුණ දීම, නිශ්චිත තොරතුරු ජනමාධ්‍යයට ලබාදීමට නොහැකි වීම හා ජනමාධ්‍යයට ද නිශ්චිත තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා වගකිවයුතු නිලධාරියකු නොමැතිවීම,
මහජන දුක්ගැනවිලි සමනය කිරීමට නව ක්‍රමවේද හඳුන්වා දිය යුතුව තිබුණි. පවතින ක්‍රමවේදය හෝ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු නො කිරීම.
ජනතාව තෝරාපත් කරගත් ජනාධිපතිතුමා පවා අසීරුතාවට පත්වීමට හේතු වූයේ දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු බව අපගේ හැඟීමයි. සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් ⅓ ක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදූර කාර්යභාරයක නියැළී සිටින විෂය භාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුදායක තත්ත්වයකි.
පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබා ගත් ඉහළ කිහිපදෙනාගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තිය සමිතියක් ලෙස අපි පිළි නොගනිමු. මහජනතාව අසීරුතාවට පත් කළ මෙම නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම වගකීමකි. ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කිරීමට කටයුතු කඩිනම් කළ යුතුය. ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට අප කටයුතු කළ යුතු අතර ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියා කළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.