උසස් අධ්‍යාපනය, පාසල්-පූර්ව ළමාවිය වෘත්තීය පුහුණුව එක් අමාත්‍යාංශයක් යටතට-මන්ත්‍රීවරුන් සතුටු කිරීමට අල්ලස් විදියට අමාත්‍යාංශ ලබාදෙන ක්‍රමයට තිත

අමාත්‍යාංශ බෙදා වෙන් කරන ක්‍රමයේ වෙනසක් 
– අගමැතිනි

කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව වරප්‍රසාදවලට එහෙට මෙහෙට පනින මන්ත්‍රීවරුන් සතුටු කිරීම පිණිස අල්ලස් ලෙස අමාත්‍යාංශ ලබාදුන් ක්‍රමය වෙනුවට ඉදිරි පාර්ලිමේන්තුවේ දී විද්‍යාත්මක පදනමක් ඇතිව විෂයානුකූලව අමාත්‍යාංශ බෙදා වෙන් කරන බව අගමැති,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

ඒ අනුව එකිනෙකට සම්බන්ධ ක්ෂේත්‍ර සම්බන්ධව අවධානය යොමු කරමින් ඇමැති ධුර 25ක් ස්ථාපිත කරන බව ද ඇය පැවසුවාය.

මාලිමාවේ පෙර පාසල් ගුරු හමුව මැයෙන් පෙරේදා (06) මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමක දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය මෙසේ ද කීවාය. පෙර පැවති ආණ්ඩු යටතේ අමාත්‍යාංශ විෂයයන් බෙදිලා ගියේ විද්‍යාත්මක ක්‍රමවේදයකට නොවෙයි. ඇමැතිවරුන්ට දෙන අල්ලසක් විදිහට තමයි අමාත්‍යාංශ බෙදලා දුන්නේ. මේ පැත්තට ආවොත් මේ අමාත්‍යාංශය දෙන්නම් කියනවා.මේ විදිහට එහා පැත්තෙන් මෙහා පැත්තට එන්න ඇමැතිකම් දුන්න රටක් මේක.උසස් අධ්‍යාපනයයි මහාමාර්ග අමාත්‍යාංශයයි එකට තිබුණා. ඒ ගැන ප්‍රශ්න කළාම කිව්වේ විශ්වවිද්‍යාල සිසුන් වැඩි හරියක් පාරේ ඉන්න නිසා උසස් අධ්‍යාපන ඇමැති යටතේම මහාමාර්ග අමාත්‍යාංශයත් දැම්මා කියා තර්කයකුත් හැදුවා. එවැනි රටක් තමයි අපි බාර ගත්තේ.අපි අමාත්‍යාංශ බෙදා වෙන් කරන්නේ විද්‍යාත්මක පදනමක් ඇතිවයි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතට සියලුම අධ්‍යාපන ක්‍රියාවලිය ගොනුවිය යුතුයි. උසස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය හා පූර්ව ළමාවිය අධ්‍යාපනය මෙන්ම වෘත්තීය පුහුණු යන සියලු ක්ෂේත්‍ර එකම අමාත්‍යාංශයක් යටතට ගන්නවා. පෙර පාසල් අධ්‍යාපනය දැන් තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොවෙයි.පෙර පාසල් අධ්‍යාපන කොටස අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න ප්‍රතිපත්තිමය හා නීතිමය වෙනස්කම් කරන්න සිදුවෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පූර්ව ළමාවිය අධිකාරියක් හදන්න අපේ අවධානය යොමුවී තිබෙනවා.නව පාර්ලිමේන්තුව රැස්වූ පසු එය කළ යුත්තේ කෙසේද සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි.විභාග ඉලක්ක කර ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය වෙනුවට සමාජය වෙනස් කළ හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපි හදන්න ඕනෑ. පුනරුද යුගයක් ගැන අපි කතා කරනවා නම් ඒ යුගයට සුදුසු පුරවැසියන් නිර්මාණය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍යයි. ඒ අධ්‍යාපන ක්‍රමය තුළ කරුණු ඉගැන්වීම, විභාග සමත්වීම, කුසලතා වැඩිදියුණු කර ගැනීම වගේම සමාජානුයෝජනය කියන කාරණයටත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා.ප්‍රාථමික සමාජානුයෝජනය සිදුවන්නේ පවුල තුළ නම් ද්විතීයික සමාජානුයෝජන ක්‍රියාවලිය සිදුවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේදීයි. දරුවකුගේ අවුරුදු 3-5 කියන වයස තීරණාත්මක වන්නේ පවුලෙන් පළමු වතාවට ඈත් වෙලා ද්විතීයික සමාජානුයෝජන ක්‍රියාවලියට දරුවා ප්‍රවේශ වන්නේ එම කාලයේදී වීම නිසයි.ඒ නිසා මේක අතිශයින් තීරණාත්මක කාලපරිච්ඡේදයක් ලෙස අපි පිළිගන්නවා.මේක සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ පළමු පියවර ලෙස තමයි අපි සලකන්නේ.අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ආණ්ඩු ගණනාවක් මේක ගැන කතා කළත් කවුරුවත් ඒ වෙනුවෙන් පියවර ගත්තේ නැහැ.ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ අප මෙය ක්‍රියාත්මක කරනවා.

පූර්ව ළමාවිය අධ්‍යාපනය සඳහා ජාතික මට්ටමේ විෂයමාලාවක් අපි නිර්දේශ කරනවා. පාසල්වල අටවැනි ශ්‍රේණිය දක්වා තරගකාරි විභාග තියන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ.මෙය එක්වරම කළ නොහැකියි. ක්‍රමානුකූලව පරිවර්තනය කරමින් ඉදිරි වසර කිහිපයේ ඒ තත්ත්වයට ගේන්න ඕනෑ. ඒ වගේම පාසල් අතර තිබෙන විෂමතාව නැති කරන්න ඕනෑ. ජනප්‍රිය හා ජනප්‍රිය නොවන ලෙස පාසල් කොටස් දෙකක් නොතිබිය යුතුයි. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් තිබෙනවා.ජනප්‍රිය පාසල් ලෙස පාසල් 29ක් හඳුනාගෙන තිබෙනවා. ඒවට ළමයින් ඇතුළත් කරගැනීම තමයි මවුපියන්ගේ අපේක්ෂාව. ඒ සඳහා විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා. මේකට හේතුව ඒ පාසල් 29 හා අනෙක් ඒවා අතර දැඩි විෂමතා පැවතීමයි.පාසල් අතර පවතින මේ විෂමතාව නැති කළයුතුයි.