සංශෝධන අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිදු කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

සියලුම සංශෝධන මාර්ගගතව සිදු කළ යුතු අතර ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන onlineexams.gov.lk වෙත යොමු කළ යුතුය.

විදුහල්පතිවරුන් හෝ පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රයන්හි විෂය මාධ්‍ය හා නාම සංශෝධන මාර්ගගත ක්‍රමයෙන් සිදු කරගත හැකිය.

එක් අයදුම්කරුවකුට මෙම සංශෝධන සිදු කර ගැනීමට ලැබෙනුයේ එක් අවස්ථාවක් පමණක් වන අතර විභාගයේ විභාග මධ්‍යස්ථාන මාරු කිරීම් සිදු නොකරයි.

උසස් පෙළ විභාගය මේ මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ.

මේ වනතෙක් තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු හෝ ප්‍රවේශ පත්‍ර බාගත කර ගත නොහැකි වූ පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබා ගත් සහතික කළ ලිපියක් සමඟ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය.