චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

චමරි අතපත්තු දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන් හිට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමත් විය.

පර්ත්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිඩ්නි පිල කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායමට ඕවර 19.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 151ක් පමණි.

මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිඩ්නි පිල සමත් වූයේ ජයග්‍රහණ 3ක් සමඟ ප්‍රසාද ලකුණු 6ක් සමඟිනි.

බ්‍රිස්බේන් පිළිතුරු ඉනිමේදී චාලි නොට් පන්දු 37කින් ලකුණු 55ක් සහ ග්රේස් හැරිස් ලකුණු 41ක් රැස් කළ අතර, සෙසු ක්‍රීඩිකාවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට සිඩ්නි පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී සමන්තා බෙට්ස් කඩුලු 4ක් බිඳ දැමූ අතර, ටැනේලේ පෙෂෙල් සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් දවා ගත්හ.

සිඩ්නි ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු පන්දු 25කින් ලකුණු 33ක් රැස් කළ අතර, හෙදර් නයිට් පන්දු 34කින් ලකුණු 59ක් සහ පොයෙබි ලිච්ෆීල්ඩ් ලකුණු 40ක් රැස් කළහ. පන්දු යැවීමේදී ජෙස් ජොනසන් කඩුලු 3ක් දවා ගත්තාය.