මෙරට දේශපාලනයට ප්‍රමිතියක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුණු අම්පාර ජන රැලියට පසුගියදා (4) සහභාගි වෙමිනි.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව බවට අද ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙන බවත්, මේ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:
“පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඉතා නිර්භීත ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. ඔවුන් අපේ රටේ සම්පත් බහු ජාතික සමාගම් වෙත විකුණා දැමුවා. ඔවුන් භාණ්ඩාගාරයේ ධනය හිතූ හිතූ සේ පාවිච්චි කළා; මහජන දේපළ පරිහරණය කළා. මම දැක්කා ළඟදී පුවත්පතක පළ වී තිබෙනවා මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පසු නිවස බාරදුන්නා කියලා. ඒ අය මෙහෙත් එහෙමයි, කොළඹත් එහෙමයි. ඔවුන් රජයේ නිවාසවලින් ඉවත් කරන්න නඩු දාන්න අප තීන්දු කර තිබෙනවා. ඔවුන් මුළු ජීවිත කාලයම ආණ්ඩුවෙන් යැපුණු අය. මේ රට මහා ණය උගුලක හිර කරපු ඔවුන්, ඔවුන්ගේ පවුල්වල උදවියට හා වටේ සිටින කණ්ඩායම්වලට පමණක් සේවයක් කළ අයයි.
“මේ ජනාධිපතිවරණයේදී ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා වේදිකාවට නැඟලා පන්සලේ දානේ නැති වෙයි, පෙරහැර නැති වෙයි, ආයේ පෝයට සිල්ගන්න බැරි වෙයි කිව්වා. මුස්ලිම් ජනතාවට කිව්වා වඳින්න දෙන්නේ නැහැ, රැවුල වවන්න දෙන්නේ නැහැ, ඔවුන්ගේ සංස්කෘතීන් අනුව කටයුතු කරන්න දෙන්නේ නැහැ කියලා. එපමණක් නොවයි ජාතීන් අතර සැකය අවිශ්වාසය ගොඩනැඟීමට මත වැපිරුවා. අපි ආවාම ගෑස් පුපුරනවා, තෙල් පෝලිම් ඇති වෙනවා, කිරි පිටි පෝලිම් එනවා, ඩොලරය 400ට නගිනවා කිව්වා. ආර්ථිකය කඩාවැටෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි, අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් මේ රට මහා ලේ විලක් බවට පත් වෙනවා කිව්වා. අනිත් පාක්ෂිකයන්ට ගහනවා, හිංසා කරනවා කියලා කිව්වා. රට ජාත්‍යයන්තර වශයෙන් හුදෙකලා වෙනවා කිව්වා. ඒත් අපි ඒ සියල්ලට මුහුණ දෙමින් ඒ සියල්ල බොරු අවලාද බව තහවුරු කර තිබෙනවා.
“දැන් මහ මැතිවරණය පැමිණ තිබෙනවා. එදා අපට චෝදනා කළ අය අද අම්පාරට එනවද? පසුගිය ජනාධිපතිවරණයේදී ඒ දෙන්නා වැඩිපුර හිටියේ නැගෙනහිර හා උතුරු පළාතේ. මේ ඡන්දෙදි එන්නේ නැත්තෙ ඇයි? ඔවුන්ට ඇවිල්ලා කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අද ඔවුන් අසාර්ථක භාවයේ පතුලටම ගිලිලා. රැස්වීමක් පවත්වන්න බැහැ, ගෙයින් ගෙට යන්න බැහැ, සාකච්ඡාවක් පවත්වන්න බැහැ. ඔවුන්ට තවදුරටත් ජනතාවට මුහණ දෙන්න බැහැ. ඒ තරමටම ජනතාවට බොරු කිව්වා. අවලාද නැගුවා. බැරි වෙලාවත් අද ඔවුන් රැස්වීමකට ආවොත් අහන්න පෝය ඉවරද, දානේ නැද්ද, ලේ විලක් වුණාද, ඩොලරය 400 වුණාද කියලා.
“පසුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඉන්නවා. බයට, අවබෝධයක් නැතිකම හෝ අනෙක් පක්ෂ සමඟ තිබෙන බැඳීම නිසා හෝ එම පක්ෂ විසින් අප පිළිබඳ කරන අසත්‍ය චෝදනාවලට හසු වී හෝ කුමන හේතුවක් නිසා හෝ අපට ඡන්දය නොදුන් ජනතාවක් සිටියා. ඒත් ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් ඒ ජනතාවත් මේ 14 වෙනිදා මහ මැතිවණයේදී අපට ඡන්දය දෙනවා. මේ අම්පාර දිස්ත්‍රික්කය දෙමළ, සිංහල, මුස්ලිම් ප්‍රධාන ජන කණ්ඩායම් තුනම ජීවත්වන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගී තිබුණේ මුස්ලිම් අයට වෙනම පක්ෂ, සිංහල අයට වෙනම පක්ෂ ලෙසයි. මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂවල නායකයෝ, සිංහල ජනතාව සිංහල පක්ෂවල නායකයෝ තෝරාගන්නවා. ඒ නිසා ආගම්වලින්, සංස්කෘතීන්වලින්, භාෂාවෙන් විතරක් නෙවෙයි වෙනස්කම් තිබුණේ. පක්ෂවලිනුත් වෙනස්කම් තිබුණා. ඒ කියන්නේ අපි හැම අතින්ම බෙදුණු ජාතියක් බවට පත් වුණා. අපි ඒ බෙදීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන් ජාතියක්. එකිනෙකා බෙදිලා අපට ජාතියක් විදියට ඉදිරියට යන්න බැහැ. මේ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවෙයි. අප මොනතරම් ප්‍රමාණයකට ජාතික සමගිය ගොඩනැගීමට සමත්ද, ඒ තරම් ප්‍රමාණයකින් මේ රට දියුණු කළ හැකියි. අපි බෙදුණු යුගය අවසන් කළ යුතුයි. අපි එකම ලාංකික ජාතියක් බවට පත්විය යුතුයි. අද ලංකාවේ උතුරට, නැගෙනහිරට, කඳුකරයට හා බටහිරට එකම සෙවණක් යටතේ නායකත්වය ලබාදෙන දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි.
“ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව වැඩිම පිබිදීම ඇති වුණේ උතුරේ දෙමළ ජනතාව තුළයි. මට මෑතකදී උතුරේ දෙමළ පක්ෂයක නායකයෙක් හමු වුණා. ඔහු කියනවා මහ ඡන්දයෙන් පස්සේ අපත් සමග එකට වැඩ කරන්න ලෑස්තියි කියලා. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක් ලෙස ලංකාවේ පළමු වතාවට දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා. අපේ ආණ්ඩුව ඒ සියලු දෙනාගේ සංස්කෘතිය අනුව කටයුතු කිරීමේ අයිතිය, තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරනවා. එකම ලාංකික ජාතියක් ලෙස මේ ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අප ඉටු කරනවා.
“ගමේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. අප ඒ සඳහා මූලික සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පළාත්වල කිරි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කළ හැකියි. ඒ සඳහා තෘණබිම් ලබාදීම, කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම ආදි වැඩපිළිවෙළක් මගින් කිරි කර්මාන්තය හරහා ගැමියා දියුණු කරනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය තෝතැන්නක්. සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශාල සැලැස්මක් අප සකස් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අප ඇති කරනවා. ඒ වගේම අපගේ ස්වාභාවික සම්පත් මත නව කර්මාන්ත පද්ධතියකට අප පියවර තබනවා. මේ සියල්ල ඉතා හොඳින් සැලසුම් කර අප දියත් කළොත් මේ රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කළ හැකියි.
“පළමු කොට මේ රට ගොඩ නැගීමට දේශපාලන ප්රමිතීන් තිබිය යුතුයි. අපේ රටේ දේශපාලනකයාට, දේශපාලනයට ප්රමිතීන් නෑ. හිතෙන ඕනෑම දෙයක් දේශපාලකයාට කළ හැකියි. ඔබ දන්නවා මේ දිනවල ලියාපදිංචි නොකළ වාහන සොයාගන්නවා. රේගුවෙන් පන්නපු වාහන, පාවිච්චි කර තිබෙන්නේ ඇමැතිවරු. ඔබ අංක තහඩුවක් නැති වාහනයක් පාරට දාන්නනේ නෑ. ඒත් ඇමැති ලියාපදිංචි නොකළ වාහන දුවනවා. ඒ කියන්නේ ඇමැති නීතියට යටත් නෑ. මේ තමයි අපේ රටේ දේශපාලනය. අප මේ දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා.”