සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ.
උපුල් තරංගගේ ප්රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි සඳහා නම් කළ සංචිත ඊයේ නිල වශයෙන් නිවේදනය කළ අතර, මේ සංචිත ද්විත්වයේම නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.
34 හැවිරිදි කුසල් පෙරේරා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවය. පසුගිය වසරේ නොවැම්බර් මස 9 වැනිදා නවසීලන්තයටම එරෙහිව ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේය. එම තරගය ලෝක කුසලාන තරගාවලිය යටතේ බැංගලෝර්හිදී පැවැත්විණි. එක්දින තරග 116ක් ක්‍රීඩා කර ඇති කුසල් ජනිත් ශතක 6ක් සහ අර්ධ ශතක 17ක් සමඟ ලකුණු 3237ක් රැස් කර තිබේ. පසුගිය අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ජගත් මංගල එක්දින තරගය ක්‍රීඩා කළ වේග පන්දු යවන 29 හැවිරිදි මොහොමඩ් සිරාස් මේ සංචිතයටත් ඇතුළත්ව සිටී. ඔහු නවසීලන්තයට එරෙහි සංචිතයට එක්ව සිටියත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණි.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නිමා වූ විස්සයි20 තරගාවලියට නම් කර සිටි ක්රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයම නවසීලන්තයට එරෙහි තරගාවලියටත් එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ මස 9 සහ 10 දෙදින දඹුල්ලේදී පැවැත්වෙන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයත් දඹුල්ලේදීම පැවැත්වෙන්නේ මේ මස 13 වැනිදාය. දෙවැනි සහ තෙවැනි එක්දින තරග 17 සහ 19 දිනවල පල්ලෙකැලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමරවික්රම, නිශාන් මදුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, මොහොමඩ් ශිරාස්.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.