චීනයෙන් පිරිනැමෙන පාසල් නිල ඇඳුම් රෙදි තිළිණය භාර ගැනීම
ලබන වසරේ පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව වන රෙදි මීටර මිලියන 11.82ම, ප්‍රදානයක් ලෙස පිරිනැමීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇති අතර, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව එම ප්රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ ඇමැතිනිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ප්‍රතිපාදන කළමනාකරණය
ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් රු. බිලියන 28.37ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව ඇති කි.මී. 100,000 මාර්ග පුනරුත්ථාපන වැඩසටහනට 2024දී රු. බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කි.මී. 1,000ක් ප්‍රතිසංස්කරණය කිරීමට හඳුනාගනු ලැබ ඇත. එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නැති ප්‍රතිපාදන කළමනාකරණය කරගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කටුනායක ගුවන්තොට මුදල් කවුළු 5ක් ආයතන 5කට පැවරීම
කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් කවුළු 5ක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත පදනම්ව වසර 3ක කාල සීමාවක් සඳහා අංක 25 කවුළුව ලංකා බැංකුවටද, අංක 02 කවුළුව සම්පත් බැංකුවටද, අංක 04 කවුළුව කොමර්ෂල් බැංකුවටද, අංක 10 කවුළුව තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතද, අංක 11 කවුළුව හැටන් නැෂනල් බැංකුවටද පැවරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ නිර්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්යක්ෂ ජනරාල් තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම්
පුරප්පාඩුව පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට දැනට එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුරක සේවය කරන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ආර්.එම්.එස්.පී.එස්.බණ්ඩාර මහතාද, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට දැනට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මහාමාර්ග අංශයේ අධ්යක්ෂ ජනරාල් තනතුරේ සේවය කරන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්.එස්. මුදලිගේ මහතාද, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරියක වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි උදේනි උඩුගහපත්තුව මහත්මියද පත් කිරීමට මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
වල්ගම-දියගම පාරේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් සමාගමට
රක්වාන‑සූරියකන්ද මාර්ග ව්‍යාපෘතියෙහි ඉතිරි ණය ප්‍රතිපාදන යොදාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම-දියගම මාර්ගය වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව රුපියල් බිලියන 2.44ක (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට එළඹෙන මැයි මස දක්වා පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් සැපයීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව නෞභාර පත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පෞද්ගලික සමාගමට ප්රදානය කිරීමට බලශක්ති ඇමැති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඌව-උතුරු පළාත් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
ඌව, උතුරු පළාත්වල ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අ.ඩො. මිලියන 10.20ක මූල්‍ය ප්‍රදානයක් පිරිනැමීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ තාක්ෂණික සහාය සහ කොරියානු රජයේ මූල්‍ය ආධාර උපයෝගි කරගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු ඇමැතිනිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ-රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු-කම්කරු අමාත්‍යාංශ ලේකම් තනතුර
පුරප්පාඩු වී ඇති අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ වැඩ බැලීම සඳහා දැනට එම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ අතිරේක ලේකම් වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහත්මිය පත් කිරීමට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු ඇමැතිනිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ප්‍රීති අනෝමා සිරිවර්ධන යළි ළමා ආරක්ෂක අධිකාරියට
අධ්යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) සහ අධ්යක්ෂ (මූල්‍ය) වැනි ඉහළ කළමනාකාරිත්ව තනතුරු පුරප්පාඩුව පවතින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වන පරිදි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය මාස 6ක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීමට කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැතිනිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුව කිසි විටෙකවත් ජනමාධ්‍යට වැට බඳින්නේ නෑ
වත්මන් ආණ්ඩුව කිසි විටෙකවත් මාධ්‍ය මර්දනයක් සිදු නොකරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජය මාධ්‍ය මර්දනයේ යෙදෙන්නේදැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය භාවිතයේදී මාධ්‍ය සදාචාරයන්ට අනුව වැඩ කිරීමට මාධ්‍ය ආයතනවල වගකීම බව පැවැසූ ඒ මහතා එමෙන්ම මාධ්‍ය ආයතනයක ප්රවෘත්ති ප්‍රචාරණය කරන විට එහි වගකීම මාධ්‍ය ආයතන සතු බවද කීවේය. අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය කිසි විටක මාධ්‍යවේදීන්ට බාධා කර නැති අතර, ඇයගේ ආරක්ෂකයන් ආරක්ෂාව සපයා සිටියදී වූ පුංචි සිදුවීමක් අල්ලාගෙන මාධ්‍ය මර්දනය කිරීමක් කරනවා යැයි අර්ථකථනය නොකළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න කිසිම
තීරණයක් අරන් නෑ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
ඕනෑම ආගමක පනත් පිළිබඳ සංශෝධන අවශ්‍ය නම් එය කරන්නේ ඒ ඒ ආගමේ නායකයන් හා විද්වතුන් සමඟ සාකච්ඡා කර බවද, මුස්ලිම් ජනතාවට දැනට ක්‍රියාත්මක වන ඉස්ලාම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු තීරණයක් රජයක් ලෙස ගෙන නැති බව විෂය භාර ඇමැතිවරයා ලෙස වගකීමෙන් පවසන බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.