හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් කර නැති බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇද්දැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බව ඇමැතිවරයා කීවේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් නඩත්තු සඳහා වියදම වසරකට සමස්ත ලංකාවේම පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගැනීමට තිබෙන රෝහලටවත් වියදම් කර නැති බව ඒ මහතා ප්‍රකාශ කළේය. මෙලෙස යන වියදම ඉහළ බවත් ඒ සඳහා කමිටුවක් පත් කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව විජිත හේරත් මහතා පැවැසීය.
විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත් කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩු කරනවා කියලා. ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනකු දීලා තිබෙනවා. ගණන් කියන්න අකමැතියි. ඒත් කියල තිබුණු නිසා කියන්නේ. සමහරුන්ට සීයකට වඩා යොදවලා තිබෙනවා. 180ක් පමණ යොදවපු අයත් ඉන්නවා. ආරක්ෂකයන් පමණක් නෙවෙයි ආරක්ෂක රථ, ඩිෆෙන්ඩර්, ත්‍රීවීල්, බයික්, ගිලන් රථ පවා ලබා දී තිබෙනවා.