බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ නඩු තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ විත්තිවාචක කැඳවන ලෙස මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට ඊයේ (05) නියම කළේය.
අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම් දෙකක් පිළිගනිමින් ඒ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරමින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක ඒකමතික තීන්දුව මඟින් මෙම නියෝගය කරන ලදි.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචනා පෙත්සම්වල තීන්දුව එම විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර හුදෙක්ම තනි පුද්ගල මිනීමැරුමක් නොව අතිවිශාල ජන සංඛ්‍යාවක් මරණයට පත් කළ සිදුවීමක් වන බවට විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දී ඇත. එවැනි ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්ති වාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බව ද මහාධිකරණය මඟින් විත්ති වාචක කැඳවිය යුතුව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් වේ.
එබැවින් විත්ති වාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බව ද මෙම නඩු තීන්දුවෙහි සඳහන් වේ.
එසේම එම නඩුව එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීමට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඬුල්ලට නියම කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම පෙත්සම්වලට අදාළව විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අවස්ථා කිහිපයකදීම දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.
නීතිපතිවරයාගේ නැවත කරුණු සැල කිරීම් අවසන් වීමත් සමඟ පෙත්සම් විභාගය අවසන් කෙරිණි.
අනතුරුව එහි තීන්දුව කල් තැබූ අතර, ඊයේ එම තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් රාජකාරිය පැහැරහැර සාපරාධී මිනීමැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අධිචෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව නඩු පවරා තිබිණි.
එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර, පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදි.
2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශයට පත් කළ එම මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුවය.
විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම නීති විරෝධී වන අතර, එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට පටහැණි බවට මෙම පෙත්සම් මඟින් නීතිපතිවරයා විසින් කරුණු දක්වා තිබිණි.
එම නඩු තීන්දු බලරහිත කරන නියෝගක් නිකුත් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන සිල්වා මහතා සහ දිලීප පීරිස් යන මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා විත්තිකාර, වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, නීතිඥ විදුර රණවක මහතා සමඟ නීතිඥ රොෂාන් දෙහිවල මහත්වරු විත්තිකාර, වගඋත්තරකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියහ.