ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ව්‍යවස්ථා 3ක්!-සභාපති මොහාන් පෙරේරා

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙහි ව්‍යවස්ථා තුනක් ඇතැයිද ඉන් නිවැරදි ව්‍යවස්ථාව කුමක්දැයි පහදා දෙන්නයිද තමා මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ 5, පාර්ක් පටුමඟ අංක 20, පිහිටි සිය කාර්යාලයේ ඊයේ (4) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් පෙරේරා මහතා:

“අපි පක්ෂයක් ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රභා ගනේෂන් මහතා සමඟ සන්ධානගත වුණා. ඔහු එහි නායකයා; මම සභාපතිවරයා.

අපි ගිවිසුම්ගතව සිටි ආකාරයට කටයුතු කරමින් සිටියදී පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳ විමසීමක් කළා. එය මැතිවරණ මහලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් දෙමළ භාෂාවෙන් තියෙන්නේ. එහි ඉංග්‍රීසි පරිවර්තනයේ වෙනත් එකක්. එහි වෙනත් කරුණු එහි තිබෙනවා. සිංහලෙන් තිබෙන්නේ තවත් එකක්. මේ නිසා මම පක්ෂයේ ව්‍යවස්ථාව කුමක්දැයි නිවැරදිව පහදාගැනීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ සහය ඉල්ලා සිටියා. අපි වාද භේද ඇති කරගත යුතු නැහැ. එක්සත් වී තැපැල් පෙට්ටිය දිනවීමට කටයුතු කළ යුතුයි. මම අදත් කියන්නේ එයයි. ඒත් අපේ පක්ෂය ෆෙඩරල්වාදීන්ට ජාතිවාදීන්ට නතු වීමට මම ඉඩ තිබෙන්නේ නැහැ.”

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක නිශ්ශංක දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.