හින්දු ප්‍රජාවගේ අයිතීන් සුරකින බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

අමෙරිකාවේ සිටින හින්දු ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරයේදි පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පැවැති එරට ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇති අතර, ඔහුගේ එම පොරොන්දුව අමෙරිකාවේ හින්දු ප්‍රජාවගේ දැඩි පැසසුමට ලක්වී ඇතැයි ද වාර්තා වේ. බංග්ලාදේශයේ පසුගිය කාලයේදී හින්දු ජාතිකයන්ට එල්ල වූ ප්‍රහාරත්, ඔවුන්ගේ දේපළ කොල්ලකෑමත් හෙළා දකින බව ද ට්‍රම්ප් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් අමෙරිකාව ඇතුළු ලොව පුරා හින්දු හා සුළුතර ජාතීන් නොසලකා හැර ඇතැයි ද, තමා බලයට පත්වූයේ නම් කිසිදු අවස්ථාවක අමෙරිකාවේ සිටින හින්දු ජාතීන්ට හා සෙසු සුළුතර ජාතීන්ට දුෂ්කරතාවට පත්වීමට ඉඩ නොතබන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් ජයගතහොත් ඇය හින්දු සහ සෙසු සුළුතර ප්‍රජාවගේ කුඩා ව්‍යාපාරවලට ද බදු පනවනු ඇතැයි ද, එම ව්‍යාපාර සඳහා දැඩි නීති පනවනු ඇතැයි ද ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.