සංඝයාගේ සමගිය සැපතකි. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ මේ බුද්ධ ශාසනය අවිච්ඡින්නව වර්ෂ 2568ක් වැනි දීර්ඝ කාලයක් පැවතුණේ සංඝ සාමග්‍රිය නිසා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. තුනුරුවන් අතරින් අද සජීවීව දක්නට ලැබෙන්නේ උතුම් මහා සංඝරත්නයයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනයේ චිරපැවැත්ම උදෙසා සංඝායනා පැවැත්වූ බව නොරහසකි. ඒ අතර පළමු, දෙවැනි සහ තෙවැනි සංඝායනා ඉතා ප්රකටය. “විනයෝ නාම සාසනස්ස ආයු” විනය නම් ශාසනයේ ආයුෂයි. එසේ නම් භික්ෂූන් වහන්සේ එසේ සමගියෙන් රැස්ව සිදු කරන්නේ ශාසනයේ පැවැත්ම උදෙසා ධර්මානුකූල වූ ද, විනයානුකූල වූ ද ප්‍රතිපත්තිමය කතිකාවතකි. එදා එය සංඝායනා ලෙසින් ද අද සංඝ සභා වශයෙන් ද විද්‍යමාන වන අයුරු ඉතා අගනේය.
වයඹ පළාත වනාහි විහාරස්ථාන බොහොමයක් හා භික්ෂූන් වහන්සේ බහුතරයක් වැඩ සිටින පළාතකි. රාජ්‍ය යුග ගණනාවක් පසු කළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව තහවුරු කළ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වැනි උතුම් කෘති බිහිවුණු රටේ ව්‍යසන වූ අවස්ථාවන්හි වීර ධීර ගිහි පැවිදි උතුමන්ගෙන් සැදුම්ලත් පළාතක් ලෙස වයඹ පළාත ඉතා ප්රකටය.මේ සියලු සාධක ගැන අවධානය යොමු කර වයඹ පළාතටම ජාතික, ආගමික, සාමාජීය, සංස්කෘතික, ශාසනික වශයෙන් සුවිසාල සේවා රැසක් සිදු කරන අදිටනින් “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” ආරම්භ වන්නේ 2023 ජූනි 31 වැනි දින ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රජමහා විහාරස්ථාන සදහම් මැඳුරේදීය.
කාලීන වශයෙන් විහාරස්ථානවල හා මහා සංඝයා අතර ප්‍රශ්න ගැටලු බොහොමයක් පැන නැඟී තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරදුන්ගේ දේශනය අනුව සංඝ සාමග්‍රිය ගොඩනැඟීම, අප සංඝ සභාවෙන් සිදු වන සුවිශේෂී මෙහෙවරකි. කිසිම භේදයකින් තොරව සියලු නිකාය නියෝජනය කරමින් ක්‍රියාශීලී සාමාජික භික්ෂු පිරිස 50 නමකටත් අධිකව වැඩ සිටීම අප ලද ලොකුම ජයග්‍රහණයකි. ප්‍රධාන සංවිධායක හා අනුශාසක, ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික යන ධුරයන් හොබවන්නේ සම්භාවනීය සඟ මඬුල්ල විසිනි. අප සංඝ සභාවෙන් කරන සේවාවලට අමතරව ගිලන් භික්ෂූන්ගේ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඒවාට මැදිහත්වීම, සාමාජික භික්ෂූන් වහන්සේගේ පැවිදි ගුරුවරුන් හා මවුපියන්ගේ අවසන් කටයුත්තක දී ආධාරෝපකාර කිරීම සහිතව සියලු සාමාජික භික්ෂූන් වහන්සේ සහභාගි වී අවශ්‍ය කටයුතු සිදු කරදීම, සාමාජික භික්ෂූන් වහන්සේගේ සහෝදර සහෝදරියන්ගේ අභාවයක දී ද ඒ අයුරින්ම කටයුතු කිරීම තවද, ආර්ථික අපහසුතා ඇති අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීම, ආර්ථික අපහසුතා ඇති දිළිඳු පවුල්වල දූ දරුවන් උදෙසා නිවාස පහසුකම් හා අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ ලබාදීම ආදී ශාසනික, සාමාජීය සේවා බොහොමයක් කරන්නා වූ සංඝ සභාවක් ලෙස වයඹ සසුන්කෙත සංඝ සභාව වයඹ පළාතේම ඉමහත් කීර්තියට පත් වූ සංඝ සභාවකි.
මේ ආදී ශාසනික වශයෙන් ද සාමාජීය වශයෙන් ද සේවා රැසක් සිදු කරන “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” තුළ ඇති එකමුතු බව නිසාම සංඝ සභාව ආරම්භ කර කෙටි කාලයකින් විශාල සේවා රැසක් කිරීමට අවස්ථාව උදාවිය.
ඉදිරි කාලයේ ලංකාව පුරාවටම තවත් වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක කිරීමට සංවිධාන කටයුතු සිදු කරමින් පසුවන වයඹ සසුන්කෙත මහා සංඝ සභාව වයඹ පළාතේ පමණක් නොව ලක්දිව පුරාම තව තවත් බැබළේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.