පූඬළුඔය බස් සටනක් මගීන් අමාරුවේ

උදාසන 4.15 ට ,4.30 සහ 5.15ට තවලන්තැන්න හරහා මහනුවර බලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ තුනක් ධාවනය වීමට නියමිත වුවද බොහෝ වේලාවට මෙම බස් රථ තුනෙක් එක් බසයක් හෝ බස් රථ දෙකක් ධාවනය අවලංගුවේ. එමෙන්ම මෙම බස් රථ බොහෝ වේලාවට නිසි කාල සටහනක් අනුව ධාවනය නොවේ. ඒ තත්ත්වය තුළ තවලන්තැන්න හරහා මහනුවර වෙත ගමන් කරනු ලබන උදෑසන රාජකාරි කටයුතු සඳහා මහනුවර සහ අගනුවර බලා පිටත්වන මගීන් ගමන් කරන්නේ මෙම බස් රථවලය.

ප්‍රදේශයේ මගීන් දිගින් දිගටම මුහුණ දෙන දුෂ්කරතා නිසා අප එදා සිටම මෙම අපහසුතා දුරුකරන ලෙස ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ජනතාව මේ පිළිබඳව දිගින් දිගටම සිදු කළ පැමිණිලි නිසා මෙතෙක් කල් කොත්මලේ නගරයට පමණක් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පූඬළුඔය තෙක් උදාසන කාලයේදි ධාවනය කිරීමට මධ්‍යම පළාත් පෞද්ගලික බස් රථ බලධාරීන් කටයුතු කළ අතර ඒ සඳහා අවශ්‍ය කරනු ලබන අවශ්‍ය මාර්ග බලපත්‍ර සහ නෛතික ලියකියවිලි සහිතව මෙම බසය ධාවනයට එක්ව තිබෙන අතර මෙම නව පෞද්ගලික බස් රථය උදාසන 4.45ට ධාවනය ආරම්භ කර උදාසන 7.10ට පමණ මහනුවර නගරයට ළඟා වේ.

මගී අවශ්‍යතා සපුරමින් කොත්මලේ සිට පූඬළුඔය දක්වා දීර්ඝ කරන ලද මෙම බස් රථයට ලංගම සේවකයන් යැයි කියා ගන්නා පිරිසක් විසින් බාධා එල්ල කරනු ලැබීය. පසුගියදා සිදු වූ මෙම බාධා කිරීම නිසා දැඩි අපහසුතාවට පත් වූයේ බස් රථයේ ගමන් කරනු ලබන මගීන්ය.

අපට ලංගම හෝ පෞද්ගලික බස් කියා භේදයක් නැත අපට අවශ්‍ය කරනු ලබන්නෙ පහසුවටත් ලෙහෙසියටත් අපගේ මගී අවශ්‍යතාවයන් සපුරා ගැනීමය. පෞද්ගලික බස් රථය ධාවනය කිරීමේ වරදක් ඇති නම් කළ යුතුව තිබෙන්නේ පෞද්ගලික බස් රථයට තර්ජනය කිරීම හෝ සාහසික ලෙස හැසිරීම නොව නෛතිකව ක්‍රියාමාර්ග ගත හැකිය එසේ නොමැතිව පැරැණි ක්‍රමයට නීතිය අතට ගෙන කටයුතු කිරීම වැරැදිය. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ පූඬළුඔය සිට උදාසන 4.45ට පොදු මගී යහපත වෙනුවෙන් දිගටම ධාවනය කරන ලෙසය.ලංගම සහ පෞද්ගලික යැයි කියා ගැටුම් ඇති කර ගැනීම නිසා සිදුවන්නේ මගී ආරක්ෂාව සහ අයිතිය උල්ලංඝනය වීමකි. ඒ නිසා මේ පිළිබඳව ලංගම සභාපතිතුමාගේද අවධානය යොමු විය යුතුය.