ගිගුරුම් සහිත වැසි අවස්ථාවලදී ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්න එපා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රීඩකයන්ගෙන් ඉල්ලයි

පේරු පාපන්දු ක්‍රීඩකයෙක් අකුණු සර වැදී පිටියේදීම ජීවිතක්ෂයට

මේ මාසයේ රට පුරා බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන බැවින් එම අවස්ථාවලදී විවෘත ක්‍රිඩාංගණවලදී ක්‍රීඩා තරගවලට සහභාගිවීම හෝ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදීම බරපතළ ජීවිත අනතුරු ඇති කරවන්නක් බව සඳහන් වේ. එබැවින් ක්‍රීඩා සමාජ ප්‍රධානීන් හා පාසල් ප්‍රධානීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගිගුරුම් සහිත කාලගුණ අවස්ථාවන්වලදී ක්‍රීඩාංගණවලින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසුවේ විවෘත ස්ථානවල සිටීමෙන් වැළකිය යුතු බවත්, එවැනි විවෘත ක්‍රීඩාංගණවල තරගවලට සහභාගි වීම හෝ ක්‍රීඩා පුහුණුවීම්වල නිරතව සිටීම අනතුරු ඇතිවිය හැකි අවස්ථා බවයි. කාලගුණ අනාවැකිවලදී පොදුවේ මහජනතාව දැනුම්වත් කිරීම ක්‍රීඩාංගණවලට ද අදාළ වන බව ඒ මහතා සිහිපත් කළේය.

සිහින් වර්ෂාවක් මැද ඊයේ පේරු රාජ්‍යයේ පාපන්දු තරගයක් පවත්වා ඇති අතර, එහිදී අකුණු සර වැදීමෙන් ක්‍රීඩකයකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පස්දෙනකු මාරාන්තික තුවාල ලබා රෝහලට ඇතුළත් කළහ. පේරුහි ජුවෙන්ටඩ් බෙලවිස්ටා හා ෆැමිලියා චෝකා යන කණ්ඩායම් දෙක අතර, පාපන්දු තරගය පැවති අතර, එහිදී මේ ඛේදජනක සිදු වීම විය.

තරගයේ මිනිත්තු 22 ක් පමණ පැවතෙද්දී බෙලවිස්ටා පිල ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දැඩි ගිගුරුම් සහිත ශබ්දයක් ක්‍රීඩාංගණය ග්‍රහණය කර ගැනීමත් සමඟ තරගය නතර කෙරිණි. ඒ වනවිටත් 39 හැවිරිදි ක්‍රීඩක ජොස් හුගෝ ඩි ලාට අකුණු සර වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් සිටි අතර, අනෙකුත් ක්‍රීඩකයන් පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළහ. ගෝල් රකින ක්‍රීඩක ජුවාන් චොකා ලැක්ටා දැඩි පිලිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එම වාර්තාවල සඳහන් වේ. මියගිය ක්‍රීඩකයා අකුණු සර වැදීමෙන් පසු බිම ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර, එම පුද්ගලයා වහා රෝහලට රැගෙන ගියද බේරා ගැනීමට නොහැකි වූ බවත්, ඔහු මියගොස් ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ සිද්ධියත් සමඟ විශේෂයෙන්ම ක්‍රීඩා ඉසව්වලදී ආරක්ෂක ක්‍රමවේද ශක්තිමත් කරන ලෙස හා ඒවා අනුගමනය කරන ලෙස විවිධ සංවිධාන ඉල්ලා සිටියහ. සිහින් වැසි මැද හෝ ක්‍රීඩා තරග පැවැත්වීමේ ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමත් ඒ සඳහා ආරක්ෂිත පද්ධති ස්ථාපනය කිරීමට සහ කාලගුණ අනාවැකි සලකා බැලීමට යෝජනා පැමි‍ණෙමින් පවතී.

මෙවැනි කනගාටුදායක සිදුවීමක් ඉන්දුනීසියාවේද ඇතිවී පාපන්දු ක්‍රීඩකයකු අකුණු සර වැදීමෙන් මිය ගිය බවට වාර්තා විය. අකුණු සර වැදීමෙන් උගන්ඩාවේ ළමුන් 13ක් සහ වැඩිහිටියකු මිය ගිය අතර 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවට ද වාර්තා විය.