රනිල් නන් දොඩවද්දී සජිත්ලා අපාගත වන බොරු කියනවා-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පැරදුණු රනිල් වික්‍රමසිංහ නන් දොඩවන බවත්, සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වන බොරු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (04) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙලෙස ද කීවේය.

“රනිල් වික්‍රමසිංහ මහතා මුල සිට ව්‍යවස්ථාව ඉගෙන ගන්නා එක හොඳයි. මේ 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේදී ආගම, ජාතිය යොදා ගනිමින් ජාතික ජන බලවේගයට එරෙහිව බොරු චෝදනා කරමින් ජනතාව නොමඟ යවන පක්ෂ, දේශපාලන නියෝජිතයන් පරාජය කළ යුතුයි.

මෙවර මහමැතිවරණයේදී 2/3ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හෝ සරල බහුතරය ඉක්මවා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට ලැබෙනවා. කිසිම පක්ෂයකට 5/6ක බලයක් අවශ්‍ය නෑ.

මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව අපට කිසිම සැකයක් නෑ. 1977 සිට මේ රටේ සශ්‍රීක පොල් ඉඩම් කට්ටි කර විකුණූ අන්දම අප දන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා නරක දේ ගෙන ගත්තේ ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන්. වැරදිකරුවන්ට දඬුවම් දීම නීතියේ වැඩක්. ඒක ප්‍රදර්ශනයක් නොවේ. ෆයිල් 400ක් විතර පිළිබඳව අප පරීක්ෂණ පවත්වනවා. ඒ පිළිබඳව නඩු ගොනු කිරීම ඉදිරි දින කිහිපයේ සිදු වෙයි. වැරදි නොකළ කෙනෙක් දඬුවම් ලබන එකත් වැරදියි. අපරාධකාරයෙක් නිදහස් වෙලා යන එකත් වැරදියි. මෙවර මහමැතිවරණයේදී කවුරුන් හෝ අපට අවංකව උදවු කරනවා නම් ඒකට අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ උදවු පිළිබඳව අපට බැඳීමක් නෑ. ඩීල් නෑ. දේශපාලන පක්ෂ සල්ලි අච්චු ගහන්නේ නෑ. පක්ෂ පවත්වාගෙන යන්නේ සාමාජික මුදල්වලින් සහ හිතවතුන්ගේ ආධාරවලින්. හැබැයි පක්ෂයකට කවුරුන් හෝ මුදල් දෙන විට එය සිදු කරන්නේ කුමන අරමුණකින්ද කියා සොයා බලන්න ඕනෙ. ඔහු කුමන අන්දමේ පුද්ගලයකු දැයි සොයා බලන්න ඕනෙ. දෙමළ ජාතික සන්ධානය අපත් සමඟ මේ ඡන්දය පිළිබඳව සම්බන්ධයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉගෙන ගැනීමට තිබෙන්නේ ව්‍යවස්ථා කැඩීම් පිළිබඳව. මැතිවරණයේදී අනෙකාට රිදවීම වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය යොදාගෙන බොරු පතුරුවන එක වැළැක්විය යුතුයි.

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවීම මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක්. මේක අපේ රටේ නව දේශපාලන ගමනක් සඳහා පියවරක් තැබීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. පැවැති පාර්ලිමේන්තුව ජනවරමට පිටුපෑමක් ලෙස හඳුන්වන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගත් නිවැරදි තීන්දුව පිළිබඳව ස්තූතියි. ජනතාව අප පිළිබඳව තැබූ විශ්වාසය රැකීමට අප බැඳී සිටිනවා. අප රටට ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. ඒ සඳහා මේ 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේදී අපට ශක්තිමත් බලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූ ව්‍යාපාර තවමත් වියරුවෙන් ඉන්නේ. ඔවුන්ට එවන් ඉරණමක් අත්වෙයි කියා එම දේශපාලන කණ්ඩායම් කවදාවත් සිතුවේ නෑ. ඔවුන් මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව බොරු ප්‍රචාර කිරීම සිදු කරනවා. එසේ සිදු කරමින් ජනතාව නොමඟ යැවීමට අපගේ විරුද්ධ පාර්ශ්ව සිදු කරන ක්‍රියාවලිය පරාජය කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී අපට එරෙහිව ඡන්දය ඉල්ලූ පොහොට්ටුවේ, සමගි ජන බලවේගයේ, රනිල් වික්‍රමසිංහ කණ්ඩායමේ පුද්ගලයන් සියල්ල ජාතික ජන බලවේගයට එරෙහිව විශාල බොරු ප්‍රමාණයක් සමාජගත කරන්න කටයුතු කළා. ඒවා සියල්ල මේ වන විට අමූලික බොරු කියා ඔප්පු වී තිබෙනවා. හැබැයි එම කණ්ඩායම් සමාජයට බොරු කීම පිළිබඳව ජනතාවගෙන් සමාව ගත්තේ නෑ. අපට විරුද්ධ කණ්ඩායම් අපට එරෙහිව ජාතිවාදය හා ආගම්වාදය යොදා ගන්න උත්සාහ කළා. සමගි ජන බලවේගයේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවල ප්‍රකාශ කළේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් රට ලේ විලක් වන බව. ආගම් අදහන්න වෙන්නේ නෑ කිවුවා. බෞද්ධ පන්සල් විනාශ කරන බව පැවසුවා. පෙරහර කරන්න දෙන්නේ නෑ කිවුවා. කාම්බෝජයේ වගේ තත්ත්වයක් ඇති වන බව කීවා. බෞද්ධාගම නැති වන බවට භීතියක් ඇති කළා. ඉස්ලාම් ජනතාවට ආගම අදහන්න දෙන්නේ නැති බව ප්‍රකාශ කළා. රැවුල වවන්න දෙන්නේ නෑ කීවා. සමාජ මාධ්‍ය තුළ අපගේ සමහර අදහස්වල කෑලි කපා විකෘති අදහස් සමාජගත කිරීමට කටයුතු කළා. මේවා කුමන්ත්‍රණ. අපට විරුද්ධ පාර්ශ්වයන්ගේ දේශපාලන බලංකොලොත්භාවය මේවායින් පෙනී යනවා. හැබැයි අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කළ පසු රටේ කිසිම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුණේ නෑ. ඒක වාර්තාවක්. මීට පෙර පැවැති ජනාධිපතිවරණවලදී විවිධ ගැටලු ඇති වුණා. අපේ ප්‍රතිපත්තිය අනෙකා රිදවන එක නොවෙයි. අනෙකා දිනා ගන්න එක. අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මහ නාහිමිවරුන් හමුවීමට ගියා. උන්වහන්සේලාගෙන් ආශීර්වාද ගත්තා. දළදා මාලිගාවට, ජය ශ්‍රී මහා බෝධියට ගියා. මේ 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයට ද අපට විරුද්ධ පාර්ශ්වයන් පෙර සේම බොරු ප්‍රචාරය කරනවා. 14 වෙනිදා ඡන්දයට පසුව පෝය තිබෙනවා, එදිනට ඇඳිරි නීතිය දමන බව කියනවා. ඒ නිසා සිල් ගන්න වෙන්නේ නෑ කියා ප්‍රචාරය කරනවා. ආගම් පිළිබඳව බොරු ප්‍රචාර කිරීම අපාගත වන සිද්ධියක්. මෙවන් බොරු කියන දේශපාලනඥයන් රටකට වටින්නේ නෑ. විශේෂයෙන් ආගම පිළිබඳව බොරු කියන දේශපාලනඥයන් පරාජය කළ යුතු බව ජනතාවට අප ප්‍රකාශ කරනවා. ඡන්දය පිළිබඳව අප මැතිවරණ කොමිසම සමඟ ද සාකච්ඡා කළා. ඉදිරියේදී විභාග පටන් ගන්නා බව අප දන්නවා. දරුවන්ගේ විභාග කල් දාන්න අපට අයිතියක් නෑ. ආගම් පිළිබඳව බොරු ප්‍රචාරයට එරෙහිව ආගමික සංස්ථාව ද ක්‍රියා කරන්න ඕනෙ. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අපගේ විරුද්ධවාදීන් අප පිළිබඳව ප්‍රචාරය කරන බොරුවලට රැවටෙන්න එපා. ජාතික ජන බලවේගය කිසිම ආගමකට අගෞරව කර නෑ. අප ආගමික, ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ විවිධත්වය, සංස්කෘතික වෙනස්කම් අප පිළිගන්නවා. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන රටක් නිර්මාණය කර ගත යුතුයි. ඒ වෙනුවෙන් අප කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. වැටෙන්න ගිය රට බේරා ගත් නිසා ඔහු දිගටම තියා ගන්න කියා ඔහු ප්‍රකාශ කළා. ඒත් ජනතාව ඔහු පරාජය කළා. පරාජයට පත්වීමෙන් පසුත් ඔහු විහිළු කතා කියන්න පටන්ගෙන තිබෙනවා. ඔහු ව්‍යවස්ථාව ඉගැන්වීමට අපට කතා කළා. අප සිතන්නේ ඔහුගෙන් ව්‍යවස්ථාව ඉගෙන ගැනීම අනතුරුදායක බව. ව්‍යවස්ථා උල්ලංඝනය කරන හැටි තමා ඔහුගෙන් ඉගෙන් ගන්න තිබෙන්නෙ. ඔහු ව්‍යවස්ථාව නොසලකා වැඩ කළා. පළාත් පාලන ඡන්දය ඔහු තිබ්බේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට කිසිම අයිතියක් නෑ. අධිකරණයට උඩින් යන්නයි කටයුතු කළේ. ඒකාධිපතිවාදය ගැන, ඡන්ද කල් දමන්නේ කොහොමද කියා, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම ගැන තමයි ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ. එහෙම පුද්ගලයකුගෙන් ව්‍යවස්ථාව පිළිබඳව ඉගෙන ගැනීම තරම් විහිළුවක් නෑ. අපි කියන්නෙ රනිල් වික්‍රමසිංහ මුල සිට ව්‍යවස්ථාව ඉගෙන ගැනීම හොඳ බවයි. ඔවුන් ජීවත් වූ ආකාරය අප දන්නවා. පැරදුනාට පස්සෙත් ජීවත් වෙන්න ආණ්ඩුවෙන් කොච්චර දේ ඉල්ලුවාද කියා අප දන්නවා. කෝකියන් 16ක් ඉල්ලුවා. බලය තිබෙන කාලේ කොහොම ඉන්න ඇද්ද. කුඩ තිහක් ඉල්ලලා තිබ්බා. ආරක්ෂකයන් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ 1977 සිට ජීවත් වුණේ මහජන මුදල්වලින්. දේශපාලනයෙන් ඉවත්වූවාට පසුවත් උත්සාහ කරන්නේ මහජන මුදලින් ජීවත්වීමට. ඔහුට දැන් තියෙන්නේ පාඩුවේ ජීවත්වීමට.

අප පාර්ලිමේන්තු මැතිවරණයට රාජ්‍ය බලය පාවිච්චි කරන්නේ නෑ. ඇතැම් දේ අපට කරන්න සිද්ධ වෙන්නෙ ආණ්ඩුවක් හැදීමෙන් පසුවයි. පසුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් ජනතාව ද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට ඡන්දය දෙනවා. ජයග්‍රහණය පිළිබඳව කිසිම සැකයක් අපට නෑ. අපගේ විරුද්ධවාදීන් ඉදිරි දිනවල ජාතික ජන බලවේගය පිළිබඳව තවත් බොරු ප්‍රචාරය කරාවි.

අපි පැමිණ තවම ටික කාලයයි. සහල් අර්බුදය කාලාන්තරයක් පුරා තිබෙන දෙයක්. 1977 සිට අපේ රටේ සශ්‍රීක පොල් ඉඩම් කට්ටි කර වික්කා. පොල් ගැටලුවක් ආවහම අපට ඒ පිළිබඳව වැරැද්ද පැටවීම වැරදියි.”