ඉන්ධන බෙදා හරින්නන්ටත් නව මිල සූත්‍රයක්

මෙතෙක් ඛනිජ තෙල් නිතිගත සංස්ථාව අනුගමනය කළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට සාපේක්ෂව ඉන්ධන බෙදා හරින්නන්ගේ කොමිස් මුදල තීරණය කිරීමේ ක්‍රමවේදය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.

ඉන්ධන බෙදාහරින්නන් ඉන්ධන සැපයීම් ජාලය තුළ අත්‍යවශ්‍ය සේවාවක් සපයන කොටසක් මිස මුදලාලිලා නොවන බව ද සඳහන් කළ සභාපතිවරයා අවධාරණය කළේ මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම අනුමත නොකරන බවත්, ඉන්ධන සැපයීම් ජාලය විනිවිද හා සාධාරණ ලෙස සිදුවිය යුතු බවත්ය. ලෝක වෙ‍ෙළඳපොළේ තෙල් මිලට අනුව ඉන්ධන බෙදා හරින්නන් සඳහා 2.25%ක් කොමිස් මුදල ලබාදුන් අතර ලෝක ආර්ථික අර්බුදය හමුවේ එම මුදලට තවත් 0.5%ක් තාවකාලිකව ලබා දී තිබේ. 2018 වසරේ පැවති රජය එම එම 0.5% ස්ථිර කොමිස් මුදලට එකතු කර තිබේ. මේ නිසා 2022 වසරේදී ලෝක වෙ‍ෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන බෙදාහරින්නන්ට විශාල ආදායමක් හිමිවී තිබේ.

ඒ අනුව 2022 වසරේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14ක කොමිස් මුදලක් ද, ඩීසල් ලීටරයකින් රුපියල් 13.80ක කොමිස් මුදලක් ද ඉන්ධන බෙදාහරින්නන්ට ලැබී තිබේ. ඉන්ධන බෙදාහරින්නන් සඳහා 2018 වසරේ ලබා දුන් තාවකාලික 0.5% ක කොමිෂන් මුදල නිසා 2022 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 35ක් අහිමිව ඇති බව විගණකාධිපති කාර්යාලයේ දත්ත තහවුරු කර ඇතැයි ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා පෙන්වා දෙයි.

එම නිසා ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල සමඟ ඉන්ධන බෙදා හැරීමේ නියෝජිතයන්ගේ කොමිස් මුදල තීරණය වීම නිවැරදි නොවන බව තීරණය කළ අධ්‍යක්ෂ මණ්ඩලය දේශීය ව්‍යාපාරවලට මෙන් දේශීය තත්ත්වයන් මත පමණක් ඉන්ධන බෙදාහරින්නන්ගේ කොමිස් මුදල තීරණය කිරීමට තීන්දුවක් ගෙන තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වූ ඉන්ධන බෙදාහරින්නන්ගේ කොමිස් මුදල තීරණය කිරීමේ මිල සූත්‍රයක් සැකසීම අමාත්‍යංශ ලේකම්වරයා හරහා විද්වත් කමිටුවකට භාරදී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

මිල සූත්‍රය සකසන තෙක් ඉන්ධන ලීටරයකින් රුපියල් 6ක දීමනාවක් ලබාදීමට ඛනිජ තෙල් නීති ගත්ත සංස්ථාව යෝජනා කර ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් අධිකරණයේ තහනම් නියෝගයක් ලබා ගැනීමට ඉන්ධන බෙදාහරින්නන් කටයුතු කර තිබේ. ඒ අනුව මේ වනවිටත් ඩීසල් ලීටරයකින් රුපියල් 8.49ක් , පෙට්‍රල් ලීටරයකින් රුපියල් 9.33ක් ඉන්ධන බෙදාහරින්නන් සඳහා කොමිස් මුදලක් වශයෙන් ගෙවනු ලබයි.

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය කළ බවත් විනිවිද භාවයකින් හා සාධාරණ ව්‍යාපාරයක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව සේවා සැපයීමට කටයුතු කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැකි වන සේ පසුගිය ආණ්ඩු විවිධ ගිවිසුම්වලට ඇතුළත් වී ඇති අතර, විශේෂයෙන්ම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී තරගකාරී අනෙක් ආයතනවලට යම් අලාභයක් සිදුවුවහොත් එම අලාභය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා දීමට පසුගිය පාලකයන් විසින් ගිවිසුම් අත්සන් කර ඇත.

මෙම ගිවිසුම් යටතේ ඛනිජ තෙල් සංස්ථාවට හොඳම විකුණුම් පෙන්නුම් කළ ඉන්ධනහල් 450ක් තරගකාරී ආයතනවලට ලබා දී ඇති අතර එමඟින් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන විකිණීම 50%කින් අඩු වී තිබේ. එමෙන්ම එම තරගකරුවන් ආයෝජකයන් ද ව්‍යාපාරිකයන් ද යන්න සිතාගත නොහැකි අන්දමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබුණු උපකරණ ද දින හතළිස් පහක් ඇතුළත එම ආයතනවලට භාරදීමට පැවති පාලකයන් කටයුතු කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා පවසයි.

ඒ වගේම ගුවන් යානා ඉන්ධන ලබාදීමට අදාළ බලපත්‍රයක් ද පෞද්ගලික සමාගමක් වෙත පසුගිය පාලකයන් ලබා දී ඇති අතර ඔවුන් මේ වනව්ටත් සියලු මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් උපකරණ මඟිනි.

එම නිසා මෙවැනි ස්වාභාවික මරණයක් ලබා දී තිබෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ලුබ්‍රිකන්, ඉන්ධන හා ඇග්‍රෝ ක්ෂේත්‍ර හරහා නැවත ගොඩ ගැනීමට කටයුතු කරන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මහතා ද එක්විය.