ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ සංවර්ධන අවශ්‍යතා ගැන ඇගයීමක් සිදු කරනවා ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රවල අධ්‍යාපන සහයෝගිතාව පවත්වා ගැනීමට චීන රජය කටයුතු කරන බවත්, වසර ගණනාවක සිට චීනයේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අංශවලින් පුහුණුවීම් ලැබූ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ චීන රජයේ ආධාර යටතේ විවිධ ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් (2024 China Aid Training Alumni) පසුගියදා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙසේ ද පැවැසීය.

“විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට චීනයේ විවිධ ක්ෂේත්‍රවල නිශ්චිත විෂයයන්ට අදාළව වඩාත් ඵලදායි පුහුණු වීම් දීමට චීන රජය කටයුතු කරනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය වන පරිදි චීනයට ගොස් පුහුණු වීම් ලබාගෙන තිබෙනවා.

චීනය රජය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ මානව සම්පත් සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳව සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරමින් සිටිනවා. මේ ඇගයීම තුළින් ශ්‍රී ලංකාවට වාසි රැසක් ළඟා කරගැනීමට හැකි වන බව කිව යුතුයි. විශේෂයෙන් සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දියුණුවක් ළඟා කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බව සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිර්ඝ කාලීන මිතුදම සදාකල් පවතීවා කියා මම ප්‍රාර්ථනා කරනවා.”

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා

“ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය ජය ගැනීමට චීනය දැක්වූ සහාය අපට අඩුවෙන් තක්සේරු කරන්න බෑ. විශේෂයෙන් චීන රජය දුන් ණය සහ මූල්‍යාධාර අපේ රටට ශක්තියක් වුණා. සමස්තයක් වශයෙන් ගතහොත් චීනය අඛණ්ඩව දෙන සහාය ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සැබැවින්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව කිව යුතුයි. විශේෂයෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී චීනය ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් අතරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රකෘතිමත් එකඟතාවක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම රට වෙනවා. ශ්‍රී ලංකාව චීනයේ එක්සීම් බැංකුවෙන් ගත් ණය සඳහා එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි එකඟතාව ඇති වුණා. එම ණය බලාත්මකවීමත් සමඟ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය අවසන් කළ පළමු බාහිර ණය හිමියා බවට පත් වුණේ චීනයේ එක්සීම් බැංකුව බව කිව යුතුයි.”