පාර්ලිමේන්තු මහමැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බැවින් පාර්ලිමේන්තු මහමැතිවරණය ලබන 14 වැනිදා නිශ්චිතවම පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මහමැතිවරණය 14 වැනිදා පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව ලබාදීමෙන් පසුව පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
එස් ඊ එෆ් ආර් 292 /24 දරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා.
ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම කරුණ සම්බන්ධයෙන් නැවත විභාගයට නොගෙනම නඩුව ඉවත් කරනු ලැබුවා. ඒ නිසා අපට ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැහැ. ඒ අනුව නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වන්නා වූ සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ ජනාධිපතිවරයා විසින්. ඊට අදාළව තමයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ.
අද සිට තව දින දහයක පමණ කාලයක් තිබෙනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා.ඊට අදාළව අද දිනට සිදු කළ යුතු සියලු කටයුතු අපි අවසන් කර තිබෙන්නේ. ඒ අනුව ඉදිරි දින දහයට අදාළ කටයුතු සිදු කරනවා. ඒ ඒ දිනට අදාළ කටයුතු තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් විසින් තමන්ට අදාළ වැඩ කොටස් ඒ ආකාරයෙන් සිදු කරනවා. අපි විශ්වාස කරනවා නොවැම්බර් 14 වනදාට එක්කෝටි හැත්තෑඑක්ලක්ෂයකට අධික ඡන්දදායකයන්ට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානවලට ගිහින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන බවට.
ව්‍යවස්ථානුකූලව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව අපි කටයුතු කර තිබෙනවා. මෙම නඩුව ගොනු කර තිබුණත් මේ දක්වාත් අපි සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කළා. යම් ආකාරයකින් ගරු අධිකරණය ලබාදෙන තීන්දුව අනුවයි අපගේ කටයුතු නතර කළ හැකි වන්නේ. මේ වෙනකොටත් කිසිම නීතිමය බාධාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම නොවැම්බර් 14 වැනිදා මැතිවරණය පැවැත්වීම නිශ්චිතයි.
තමන්ට අසාධාරණයක් වෙනව කියලා දැනුණොත් ඕනෑම පුරවැසියකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම තැපැල් ඡන්දය සලකුණු කිරීම ඔක්තෝම්බර් 30, නොවැම්බර් 01,04 දිනවලදී දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවලදී පැවැත්වුණා. මෙම දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයෙක් වේ නම් තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රීක්කයේ දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරියා ඉදිරියේදී 07 සහ 08 යන දිනවලදී ඡන්දය සලකුණු කළ හැකියි. මුල් දින තුනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ නොහැකිවූ රාජ්‍ය සේවකයෙක් වේ නම් අනිවාර්යයෙන්ම 07, 08 යන දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතුත් මේ වන විට සිදු වෙනවා. නිල ඡන්ද පත්‍රිකා නොලැබුණහොත් ඔබගේ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගිහින් විමසීමක් කළ හැකියි. ඒ කෙසේ වුනත් නිල ඡන්ද පත්‍රිකාව ඔබට අනිවාර්ය කාරණාවක් නෙවෙයි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා. ඡන්ද පත්‍රකාව ලැබුණත් නැතත් ඡන්ද නාම ලේඛනයේ ඔබගේ නම සඳහන් වෙනවා නම් ඔබට පුළුවන් 14 වැනිදා උදේ හතට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර තම ඡන්දය ප්‍රකාශ කිරීමට.