ඩොනල්ඩ් ට්‍රම්ප් කමලා හැරිස් සටන තියුණුයි

පෙර නොවූ විරූ ආකාරයේ තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර ඇති අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (5) පැවැත්වේ. මීළඟ වසර 4දී දේශීය වශයෙන් අමෙරිකාවේ ආර්ථිකය ගොඩ නැඟීම හා දේශසීමා අර්බුදය ඇතුළු අභියෝග රැසකටත්, ජාත්‍යන්තර වශයෙන් යුක්රේන හා මැදපෙරදිග යුද අර්බුදය සහ දේශගුණික විපර්යාස ඇතුළු අභියෝග රැසකටත් මුහුණ දීමට සිදුවන නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට අමතරව එරට 50 වැනි උප ජනාධිපතිවරයා පත් කිරීමට ද අද පැවැත්වෙන ඡන්දය තීරණාත්මකය. වේලාසනින් ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදයට අනුව එරට ඡන්දදායකයන් මිලියන 160කට ආසන්න පිරිසක් අතුරින් මිලියන 60කට වඩා මේ වනවිටත් සිය ඡන්දය භාවිත කර අවසන් බැවින් අද ඡන්ද මධ්‍යස්ථාන වටා එක්රොක් වන්නේ ඉතිරි ඡන්දදායකයන් පමණි.

කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෝලනය වන මෙවර ජනාධිපතිවරණය වැඩි අවධානයකට ලක් නොවූ තුන්වැනි පාර්ශ්වයට හා ස්වාධීන පාර්ශ්වයට අයත් තවත් අපේක්ෂක අපේක්ෂිකාවෝ සිව්දෙනකු ද සිටිති. ලිබර්ටේරියන් පක්ෂයේ අපේක්ෂක 39 හැවිරිදි චේස් ඔලිවර්, හරිත පක්ෂයේ අපේක්ෂක 74 හැවිරිදි ජිල් ස්ටේන්, සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකා 44 හැවිරිදි ක්ලෝඩියා ඩි ලා කෘස් සහ ස්වාධීන අපේක්ෂක 71 හැවිරිදි කෝර්නල් වෙස්ට් ඒ අතර වෙති. කෙසේ වුවද සටන පවතින්නේ අමෙරිකාවේ ප්‍රධානතම අපේක්ෂකයන් වන රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතරය.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇත්තේ 1% ක සියුම් වෙනසක් වුවද, ජනාධිපති ධුරය තීරණය වන්නේ රටේ පුරවැසියන්ගේ ඡන්දයෙන් ජය ගන්නා වඩාත්ම ජනප්‍රිය අපේක්ෂකයා නොව අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක් එක් ප්‍රාන්තවල ස්ථාපිත කර ඇති Electoral College නමින් හඳුන්වනු ලබන ක්‍රමවේදයකට අනුවය. එම ක්‍රමය යටතේ අදාළ ප්‍රාන්තයට ලැබී ඇති සෙනෙට් සභා ආසන සංඛ්‍යාව අනුව ඡන්ද 538කින් ඡන්ද 270ක් හෝ ඊට වඩා ලබාගන්නා අපේක්ෂකයා අමෙරිකාවේ මීළඟ ජනාධිපතිධුරයට පත්වනු ඇත. අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජිතයන් 538 ක් ඇතුළත් Electoral College ඡන්ද හිමි නාමලේඛනය අදාළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් ඉදිරිපත් කරනු ලබන අතර, දෙසැම්බරයේ දෙවැනි බදාදාට පසු එළැඹෙන පළමු අඟහරුවාදා එම ඡන්දහිමි නියෝජිතයෝ වොෂින්ටන් ඩී.සී. නුවර රැස්වෙති. ජනාධිපති සහ උප ජනාධිපති තෝරාගැනීමේ Electoral College ඡන්ද විමසීම සිදුවන්නේ එදිනටය. මෙවර එම දිනය දෙසැම්බර් 17 වැනිදාට යෙදී තිබේ. අනතුරුව ලබන වසරේ ජනවාරි 6 වැනිදා කොන්ග්‍රසය ඉදිරියේ එම ඡන්ද ගණනය සිදුවන අතර, මීළඟ ජනාධිපති සහ උප ජනාධිපති නිල වශයෙන් නම් කිරීම සිදුවන්නේ එදිනටය.

එම නිවේදනය සිදු කරනු ලබන්නේ එම ඡන්ද විමසීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලබන සෙනෙට් සභාවේ සභාපති විසිනි. සාමාන්‍යයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ මුල්පුටුව හොබවනු ලබන්නේ එරට වත්මන් උප ජනාධිපතිවරයා විසින් වන අතර, මෙවර එම අවස්ථාව උදා වී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස්ටය. එය ඓතිහාසික අවස්ථාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති වරමකි. එය කමලා හැරිස්ට වඩාත් වැදගත් වන්නේ ඇය මෙවර ජනපති සටනේ අපේක්ෂිකාව වීම නිසාය. ඇය ජයගන්නේ නම් අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එම වාර්තාව 2016 ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් වෙතින් ගිලිහී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වීමෙනි. එය අවාසනාවන්ත පරාජයක් වන්නේ එවර අමෙරිකාවේ පුරවැසියන්ගේ ජනප්‍රියතම ජනපති අපේක්ෂක ලෙස ඇය ඡන්ද මිලියන 65.85ක් ලබා පෙරමුණට පත්වීම හේතුවෙනි. එහෙත් ඡන්ද මිලියන 62.98ක් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූයේ Electoral College ක්‍රමවේදයට පිංසිදු වන්නටය. දැන් නැවත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ කාන්තාවක වීම විශේෂත්වයකි.

එමෙන්ම කමලා හැරිස් ජයගන්නේ නම් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ දෙවැනි කළු ජාතිකයා ලෙසත් ඉතිහාසගත වනු ඇත. මීට පෙර 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් බැරක් ඔබාමා එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා විය. තමිල්නාඩුවේ මවකට සහ අප්‍රිකානු – ජැමෙයිකානු සම්භවයක් සහිත පියකුට දාව කැලිෆෝනියාවේදී උපත ලැබූ කමලා දේවි හැරිස් අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජයග්‍රහණය කරන්නේ නම් එය ආසියානු සම්භවයක් සහිත පුද්ගලයකු අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද වනු ඇත.

අනිත් අතට ඇගේ ජයග්‍රහණයෙන් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස සිය නාමය නිවේදනය කිරීමේ ඓතිහාසික අවස්ථාවත් ඇයට උදාවනු ඇත. මීට පෙර එවැනි විරල හා ආශ්චර්යමත් අවස්ථාවක් 1989 වසරේ ජනාධිපතිවරණයේදී සිදුවී තිබේ. එවර උප ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරණය ජයගත් අතර, එය නිල වශයෙන් නිවේදනය කිරීමේ අවස්ථාව ද උදා වී තිබිණි.

එමෙන්ම ඊට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ දෙදෙනකුට සිය ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය නිවේදනය කිරීමට ද සිදුවී තිබිණි. උප ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ රිචඩ් නික්සන්ට සහ අල් ගොර්ට පිළිවෙළින් 1961දී සහ 2001දී සහ 2001දී නව ජනාධිපතිවරයා ලෙස නිවේදනය කිරීමට සිදුවූයේ එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ජෝන් එෆ්. කෙනඩිගේ නම සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නම් ය. මෙවර ජනාධිපතිවරණයේදී උප ජනාධිපති කමලා හැරිස්ට මේ සිදුවීම් ද්විත්වයෙන් එකකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවනු ඇත. වසර 2016 සිට 2020 දක්වා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ නඩු හබ ඇතුළු චෝදනා හේතුවෙන් මෙවර ජනපති සටනේදී ජනතාව අතර වැඩිම කතාබහට ලක් වූ අපේක්ෂකයා ද වේ. අමෙරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඔහු වැඩි කතාබහට ලක්වූයේ ජනාධිපති ධුරයට පත්වීමට දශක ගණනාවකට පෙර සිටය. 70 දශකයේ මුල් භාගයේදී ව්‍යාපාර කටයුතුවලට එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් 1973 සිට මේ දක්වා පැටළුණු නඩු කන්දරාව 4000කට වැඩිය. කැසිනෝ ව්‍යාපාර, දේපළ වෙළඳාම හා බදු නොගෙවීම් සම්බන්ධව මෙන්ම පෞද්ගලික අපහාස කිරීම් හා ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම් හේතුවෙන් ඔහු අධිකරණයට ගිය අවස්ථා එමටය. එම නඩු මූල්‍ය වංචා සිට අපරාධ චෝදනා දක්වා විහිදී ගොස් තිබිණි. එවැනි නඩුවලදී ඔහුට වන්දි ගෙවීමට සිදුවූ අවස්ථාවන් ද අපමණ ය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉතිහාසයට එක්වූයේ අමෙරිකාවේ අපරාධ චෝදනාවකට ලක්වූ පළමු ජනාධිපතිවරයා ලෙසිනි. ඔහු සිය ධුරකාලයේ අවසන් භාගයේදී දෝෂාභියෝග දෙකකට ද මුහුණ දුන් අතර, අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග දෙකකට මුහුණ පෑ එකම ජනාධිපතිවරයා ද විය. වසර 2023 සහ 2024 ඩොනල්ඩ් ට්‍රම්ප්ට උදා වූයේ එහෙම් පිටින්ම නරක කලදසාවකි. එම කාලය තුළදී ඔහු 2016 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී ස්ටෝමි ඩැනියෙල්ස් නමින් නිල් චිත්‍රපටවල රඟපෑ ස්ටෙෆනී ක්ලිෆර්ඩ් නමැති නිළියක සමඟ ලිංගිකව එක්වී එය රහසක් ලෙස තබා ගැනීමට සිය ව්‍යාපාරික ගිණුමෙන් ඩොලර් එක්ලක්ෂ තිස්දහසක් ගෙවා පසුව එම ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට වරදකරු වීම ඇතුළු ‘නම කැත‘ කරගත් නඩු හබ ගණනාවකි. ඒ සියල්ල අතරතුර බාධක හා අභියෝග රැසක් ජය ගනිමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ට්‍රම්ප් පසුගියදා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර වෙඩි පහරකින් ජීවිතය බේරා ගත්තේ අන්තිම දශමයෙනි.