රටට අවශ්‍යවී තිබෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් රජයක් බවත්, එවිට රජයේ වැඩ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට නඟන සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ඉකුත්දා (01) සියඹලාපේවත්ත, ටැමරින් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ බියගම ආසනයේ ව්‍යාපාරික සුහද හමුවේදීය.
ජාතික ජන බලවේගයේ බියගම ආසනයේ ව්‍යාපාරික සංසදයේ මෙහෙයුම් කට්ටුව විසින් මෙය සංවිධානය කරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළා. එතුමා පත්වූ විගසම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ එය දූෂිත නිසයි. දැන් ජනතාවට එම දූෂිත පාර්ලිමේන්තුව වෙනුවට දූෂිතයන්ගෙන් තොර පිරිසුදු පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. එයින් නිසි ඵල නෙළා ගන්නා ලෙසට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිරිසුදු පාර්ලිමේන්තුව පත්කරන්න, මැතිවරණය පවත්වන දිනය තමයි මේ මස 14 වැනිදාට යෙදී තිබෙන්නේ. එදිනට අපි පාර්ලිමේන්තුවට සුද්ධ කරන දිනය ලෙසට හඳුන්වනවා. මේක ශ්‍රමදානයක් වෙනවා. එම ශ්‍රමදානයට රටට ආදරය කරන සෑම දෙනෙක්ම දායක වන්න ඕනෙ. අපි ශ්‍රමදානය කියලා කියන්නේ කොහු, ඉදල් අරන් ඇවිත් පාර්ලිමේන්තුව සුද්ධ කරන එක නෙමෙයි. එදාට අපි දූෂිතයන් ඡන්දයෙන් පලවා හැර දූෂිතයන්ගෙන් තොර පිරිසුදු, බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න ඕනෙ. එවැනි කණ්ඩායමක් තමයි ජාතික ජන බලවේගයේ සිටින්නේ. ඒ නිසා එම පක්ෂයේ කණ්ඩායම පාර්ලිමේන්තුවට පත් කරගන්න ජනතාව පෙරමුණගත යුතුයි.
ජනාධිපතිවරණයේදී අපගේ පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද අට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලැබුණා. ඒ අනුව අපට මන්ත්‍රීවරුන් 12ක් පත් කර ගන්න ලැබෙනවා. නමුත් මේ මැතිවරණයේදී අපගේ ඉලක්කය වී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 15ක් ලබා ගැනීමටයි. එම ඉලක්කය සපුරා ගන්න අපට පුළුවන්. මෙවර මේ මැතිවරණයේදී අපගේ පක්ෂය ගැන පැහැදී සිටින, ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන් බොහෝ පිරිසක් අපට ඡන්දය දෙන බවට විශ්වාස නිසයි.
දැන් රටේ මැතිවරණයක් පැවැත්වෙනවා. නමුත් මැතිවරණයක් තියෙන බව ජනතාවට දැනෙන්නේ නෑ. පෙනෙන්නටත් නෑ. මීට ඉහත මැතිවරණවලදී නම් ජනතාව බෙදී ඇනකොටා ගන්නවා. ගභගන්නවා. කාර්යාල ගිනි තියනවා. වෙඩි තියාගන්නවා. මේ මැතිවරණයේ ඒවා කිසිම දෙයක් නෑ. අපේ පක්ෂය බලයට පත්වීමෙන් පසුව රටේ එම වෙනසක් ඇති වේගෙන යන බව දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතිනවා.
පෙර පැවති මැතිවරණවලදී ඡන්ද ජයග්‍රහණය කළාම ඒ උදවිය එය සමරන්නේ විරුද්ධ පක්ෂවල පාක්ෂිකයන්ගෙන් පළිගනිමින්. ඔවුන් රජයේ ආයතනවලට ඇවිත් එහි සේවකයන්ට අඩන්තේට්ටම් කරනවා. දුෂ්කර පළාත්වලට මාරු කර යවනවා. දැන් එහෙම දේවල් වෙන්නේ නෑ. එදා තිබූ එම ප්‍රචණ්ඩත්වයට අපි තිත තබා තියෙනවා. මේ මහමැතිවරණයෙන් පසුවත් රටේ පවතින්නේ සාමකාමී වාතාවරණයක් බව අපි කියනවා.
රටේ ආරක්ෂාවට තර්ජන එන බවක් දැනගන්න ලැබුණා. අපි වහාම ආරක්ෂාව තහවුරු කළා. ඒ වගේම විදේශිකයන්ගේ ආරක්ෂාව ද අපි තහවුරු කළා. මේ වනවිට මේ සම්බන්ධව අපි කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත්තා. තවම මේක කොයි වගේ උත්සාහයක් ද කියලා කියන්න බෑ. තවම විමර්ශන මට්ටමේ තියෙන්නේ. අපට තොරතුරක් ලැබුණාම අපි ආරක්ෂාව තර කරනවා. එම ආරක්ෂාව ශක්තිමත් කරනවා වගේම එදිනෙදා එන අභියෝගවලටත් අපි මුහුණදෙනවා. අපි අභියෝගවලට බයේ පැනලා දුවන්නේ නෑ.
දැන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. එය අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. එය වසර ගණනාවක් පුරා තිබූ ප්‍රශ්නයක්. ඒක දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකවරුන් අතර තිබෙන ප්‍රශ්නයක්. මේ වර්ජන දේශපාලන වුවමනාවන් මත කරන එකක්. මේ මැතිවරණ කාලයක්. එය පසු වූ විට එයට විසඳුමක් දෙනවා. එයට සාධාරණ කාලයක් අවශ්‍ය වෙනවා.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ මවුලවි මුනීර් මුලෆ්ෆර්, විධායක සභික, ආචාර්ය අසෝක රන්වල, බියගම ආසනයේ ව්‍යාපාරික සංසදයේ සභාපති අසිත විජේවර්ධන ව්‍යාපාරික සංසදයේ ව්‍යාපාරික මෙහෙයුම් කමිටු සභික ප්‍රියන්ත කුමාර රණසිංහ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
මෙහිදී ජාතික ජන බලවේගයේ බියගම ආසනයේ ව්‍යාපාරික සංසදයේ අසංක ප්‍රින්ටර්ස් අධිපති අසංක පෙරේරා මහතා ස්තූති කතාව කළේය.