ඇතුගල්පුරයම හඬවමින් පුබුදි සමුගනියි

බදුල්ලේ දී සිදුවූ මාරක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු වූ පුබුදි හෙට්ටිමුල්ල තරුණ දියණිය ඇතුගල් පුරවරයම හඬවමින් ඊයේ (3) අවසන් ගමන් ගියාය.

අවුරුදු 23ක් වූ ජීවිතයේ සුන්දර කාලයේදීම ජීවිතය අත්හැර යාමට තරම් දෛවය ඇයට අකාරුණික වී තිබේ.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ කීර්තිමත් ආදි සිසුවියක වූ ඇය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් සූරියවැව මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂක පීඨයේ (Quantity Surveyor) තෙවන වසරේ සිසුවියක ලෙස උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වූවාය.

පුබුදිට සිටින්නේ එක් සොයුරෙක් පමණී. ඔහුද ආරක්ෂක අංශයට සම්බන්ධ රැකියාවක නිරතව සිටියි. මවුපියන්ද වෘත්තීන්වල නිරත වූවන්ය. පවුලේ බාලයා මෙන්ම එකම දියණියද වූ බැවින් ඇය පවුලේ සාමාජිකයන්ගේ දැඩි ආදරයට ලක්ව සිටියාය.

පළමු වසරේ සිටම කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලට අධ්‍යාපනය සඳහා ඇතුළු වී සිටි පුබුදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද එකසේ දස්කම් පෑ ක්‍රීඩිකාවක වූවාය. ඇය විදුහලට ක්‍රීඩාවෙන් අලෝකයක් ලබා දුන් දක්ෂ ක්‍රීඩිකාවකි. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලට සේම බැඩ්මින්ටන් ක්‍රීඩාවටද එකසේ දස්කම් පෑ නිසාම ඇය විදුහලේ මේරියන්ස් නිවාසයේ නායිකාව මෙන්ම ක්‍රීඩා නායිකාවකද වූවාය. බැඩ්මින්ටන්ද ඇයගේ ජීවිතයේ හැඩවැඩ ක්‍රීඩාවක් වී තිබුණි. මෙනිසාම පුබුදි විදුහලේ බැඩ්මින්ටන් කණ්ඩායමේ නායිකාවක ලෙසද කටයුතු කර තිබේ.

ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද එක හා සමානව සමත්කම් පෙන්වූ ඈ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇත. දෙදහස් විස්ස වසරේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටි පුබුදි සී සාමාර්ථ තුනක් සහිතව සමත් වීම නිසාම කෙතාලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවාය. ඒ සඳහා පුබුදිට තිබූ ක්‍රීඩා දක්ෂතාවයන්ද අතිරේක සුදුසුකම් වී තිබුණි.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද පුබුදි තම ක්‍රීඩා ජීවිතය අත් නොහැරියාය. ඇය විශ්වවිද්‍යාලයේදීද සුපුරුදු පරිදි මලල ක්‍රීඩාවෙන් හා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද දස්කම් පා ඇත. විශ්වවිද්‍යාලයට ජයග්‍රහණයද අත්කර දී තිබුණි. මෙනිසාම ඇය සූරියවැව මණ්ඩපයේද කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි බව පැවසේ.

පුබුදි සැබැවින්ම “චිල්” එකේ සිටි කෙනකු බව ඇයගේ සමීපතම මිතුරියක වූ කවිනි අපට පැවසුවාය. පුබුදි ඉතාම විනෝදයෙන් හා දැඩි සුහදත්වයකින් සහෝදර සිසුවියන් මෙන්ම ගුරු මඬුල්ලද ඇසුරු කළ බැවින් පුබුදි යනු ශුද්ධ වූ පවුලේ බාලිකාවේ කා අතරත් ජනප්‍රියම මෙන්ම සුහදශීලි සිසුවියක වූ බව කවිනි පැවසුවාය. ඇය නිතරම විනෝදයෙන් සිනහවෙන් කාලය ගත කළ කෙනෙකි. ඒ බව ඇයගේ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන්ද තහවුරු කළාය.

තම විදුහලේ ආදි ශිෂ්‍ය සුහද හමුවකට සහභාගී වීමට ඇයට දැඩි අවශ්‍යතාවයක් තිබී ඇත. ඇය පාසලෙන් ඉවත් වීමෙන් අනතුරුව ඇයගේ පාසල් කණ්ඩායමේ සිසුවියන් එක්ව පවත්වන ලද සුහද හමුවකට සහභාගී වීමේ අවස්ථාව ඇයට අවස්ථාව අහිමිවී තිබුණි. මේ නිසාම නුදුරේදීම පැවැත්වීමට සැලසුම් කර තිබූ සුහද හමුවට අනිවාර්යයෙන්ම සහභාගී වන බව ඇය දන්වා තිබූ බව ද කවිනි පැවසුවාය. නමුත් ඇයගේ ඒ ආශාව, බලාපොරොත්තුව අවාසනාවන්න ලෙස ඇයට අහිමි කළේ අවාසනාවන්ත රිය අනතුරය.

ඇය වැනි දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ දියණියකට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳ විශාල පිරිසක් කම්පාවට පත්ව සිටිති. පුබුදි තමන් විසූ කුරුණෑගල අඹකොටේ උණකොළමුල්ල ගමේද කා අතරත් ජනප්‍රිය දියණියක බව පැවසේ. මෙනිසාම ගම්වාසීන්ද පත්ව සිටින්නේ දැඩි කම්පාවකටය.

තම ආදරණීය එකම දියණිය අහිමි වීමේ සොවින් ඇගේ මවුපියන් මෙන්ම සොයුරාද දැඩි කම්පාවට පත්ව සිටිති.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය හා ගෞරව මධ්‍යයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇතුගල් පුරවරයට අහිමි කළ දක්ෂ දියණියකගේ අවසන් කටයුතු ඊයේ සැඳෑ සමයේ වැසිබර කාලගුණය මධ්‍යයේ කුරුණෑගල නාගරික සුසාන භූමියේ දී සිදු කෙරිණි.