හලාවත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමේ උණුසුම් තත්ත්වයක්- පොලීසියත් පනී

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් බලමණ්ඩලයට හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට හලාවතදී පැවැති රැස්වීමකට පොලීසිය කඩාපැනීමේ සිදුවීමක් ඊයේ (3) වාර්තා විය.

හලාවත වයිට් හවුස් ගොඩනැඟිල්ලේදී ඊයේ (3) දහවල් පැවති මේ රැස්වීමේදී මැතිවරණයට අදාළ නීති විරෝධි කටයුතු කිහිපයක් සිදු වන බවට ලද පැමිණිල්ලකට අනුව වැටලීමක් සඳහා තමන් එහි පැමිණි බව පොලිස් නිලධාරීහු සඳහන් කළහ. මැතිවරණයට අදාළව මුදල් බෙදා දීමක් මෙන්ම දිවා භෝජන සංග්‍ර‍යක් එම ස්ථානයේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව තමන් එහි පැමිණි බව පොලිස් නිලධාරීහු පැවසූහ.

ඒ අනුව අවස්ථා දෙකකදීම පොලීසිය එම ස්ථානයට පැමිණි අතර, මුල් අවස්ථාවේ එම ස්ථානය නිසි පරීක්ෂා කිරීමකින් තොරව එම නිලධාරීන් පිටව ගොස් තිබිණි. එහෙත් පොලීසිය එම ස්ථානයට පැමිණි දෙවැනි අවස්ථාවේ අදාළ භෝජන සංග්‍ර‍හය අවසන් වෙමින් පැවති බවට වාර්තා විය.

අප මේ සම්බන්ධයෙන් හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් ස්ටැන්ලි මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ තමා කිසිදු අවස්ථාවක මුදල් බෙදීමක් සිදු නොකළ අතර, මළවුන්ගේ දානයක් පමණක් දුන් බවයි.

මේ ස්ථානයේ අහාර හා මුදල් බෙදීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පෙරෙන්සි ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමටද කටයුතු කරන බව එහි ජාතික සංවිධායක නීතිඥ තුෂානි කන්දිල්පාන මහත්මිය දිනමිණට පැවසුවාය.

මේ සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු අතර, ඒ සම්බන්ධයෙන් හලාවත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ රැස්වීමේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අංජන සදරුවන් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු ලෙස කටයුතු කරන නිමල් වර්ණකුලසූරියට දෝෂාරෝපණය කර පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් රැස්වීම ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. මීට හේතුව ලෙස අංජන සඳරුවන් කියා සිටියේ තමා වසර 20කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වී නොයෙකුත් හිංසනයනට ලක් වූ අයකු වන අතර, අද දිස්තික් කළමනාකරු එය නොදන්නා සේ කටයුතු කරන බවයි. අංජන සඳරුවන් මූලාසනයේ සිටි නමුත් දිස්ත්‍රික් කළමනාකරුගේ පිළිගැනීමේ කතාවේදී අංජන සදරුවන් පිළි නොගැනීම මේ ආරවුලට හේතු වී තිබිණි. මෙහිදී පැමිණි සිටි බහුතරයම දිස්ත්‍රික් කළමනාකරුට විරෝධය පළ කළ අතර, ඒ අනුව ඔහු සභාවෙන් පිටව යනු පෙනිණි. මේ සිදුවීමෙන් පසු අංජන සඳරුවන් පැමිණ සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලීය. එමෙන්ම තමාට පක්ෂය තුළින්ම තර්ජන එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.