අලුතෙන් තවත් පාස්පෝට් 50,000ක් දෙපාර්තමේන්තුවට

විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ ගමන් බලපත්‍ර මේ වන විට 50,000ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ද දෙසැම්බර් මාසයේ දී තවත් 150,000ක පමණ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ද වන ලෙස 750,000ක විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිතය. ඊට සමගාමීව තවත් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කොට ඇත. ඉහත තත්ත්වය යටතේ මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකස් කිරීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.

විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන තිබේ. එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.