ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමල ධීවරයන්ට ආධාර

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (03)  ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී

ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය.

දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන් මෙම ආධාරයට 40 HP බෝට්ටු එංජිමක්, අධි ශීතකරණ 3ක් සහ ජීවිතාරක්ෂක කබා ඇතුළත් විය.

අධි ශීතකරණ මගින් මත්ස්‍ය අස්වැන්න නැවුම්ව තබා ගත හැකි බැවින් ධීවරයන්ගේ ආදායම ඉහළ නැංවීමට එය උපකාරී වනු ඇත.

එංජිම සහ ජීවිතාරක්ෂක කබා මුහුදේ අතරමං වන හෝ අනතුරට පත් වන ධීවරයන් සහ බෝට්ටු බේරා ගැනීම සඳහා තීරණාත්මක සහයක් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා ඔවුන්ගේ දරා ගැනීම, මහන්සි වී වැඩ කිරීම සහ තම ප්‍රජාවට දක්වන දායකත්වය අගය කළේය.

ඉන්දීය සාගරය විසින් එක් කරන ලද දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ‌‌ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා එතුමා විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවට ධීවර ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව ඉන්දියාවට හොඳින් මනා අවබෝධයක් ඇති බව ප්‍රකාශ කළ එතුමා ඉන්දීය රජය ධීවරයන්ගේ එදිනෙදා කටයුතුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය යන දෙකම ඉහළ නැංවීමට අරමුණු කරන බව පැවසීය.