සති 4කට පමණ පෙර ශ්‍රී ලංකාව හමුවේ තරග 2-0ක පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ නවසීලන්තය ඊයේ දිනයේ ප්‍රබල ඉන්දීය පිල 3-0කින් පරාජය කොට වාර්තාගත ටෙස්ට් පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගත්තේය. මේ සමඟ ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පහත වැටිණි.
පරාජිත ඉන්දීය පිලේ විරාත් කෝලිට හා රෝහිත් ෂර්මාට එරෙහිව ක්‍රීඩා පිටියේ හා ඉන් පිටත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විරෝධතා මතුවී ඇති අතර, ඔවුන් දෙදෙනා විශ්‍රාම ගත යුතු බවට මත පළවෙමින් පවතී.
“කෝලි ඔයා දෙවියෙක් නෙවෙයි අයියේ. සති දෙකක් ක්‍රීඩා කර මාසයක් නැවත ලන්ඩනයට යන්න බෑ. එක්කෝ හොඳින් ක්‍රිකට් ක්‍රීඩාවට කැපවෙන්න. නැත්නම් පවුල් ජීවිතය සමබර කරගන්න. දැන් විශ්‍රාම ගන්න. ඔබ ශතක කීයක් අහිමි කළාද? ඔබේ ප්රමිතීන් කෙතරම් ඉහළද කියා වැදගත් නෑ. ඉන්දියාව පරදිනවා” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල සටහන්වී ඇත.
කෝලි ටෙස්ට් තරග 7කදී ශතක ලබා නැති අතර, ෂර්මා ද නිමාවූ ටෙස්ට් තරග 5කදී ශතක ලබා නැත. විරාත් කෝලිගේ පවුලේ සාමාජිකයන් එංගලන්තයේ පදිංචිවී සිටින අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සහ වෙළෙඳ දැන්වීම්වල වාණිජ රූගත කිරීම් සඳහා පමණක් ඉන්දියාවට පැමිණීම විවේචකයන් මතුකර සිටින ප්රශ්නය වේ.
දඟ පන්දුවට පාරාදීසයක් වූ වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් අජාස් පටෙල් කඩුලු 11ක් ලබාගෙන තරගය පුරා දස්කම් දැක්වූ අතර, ඔහුට ප්‍රතිරෝධය දැක්වීමට සමත් වූ එකම ඉන්දීය පිතිකරුවාවූ රිෂාබ් පාන්ට් අර්ධ ශතකයක් වාර්තා කළේය. නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 235ක් ලබාගත් අතර, ඉන්දියාව ලකුණු 263කට දැවී ගියේය. නවසීලන්තය දෙවැනි ඉනිමේ ලකුණු 174ක් ලබාගත් අතර, ලකුණු 147ක ඉලක්කය ඉදිරියේ ඉන්දීය සියලු ක්‍රීඩකයින් ලකුණු 121කට දැවී යෑම හේතුවෙන් ලකුණු 25ක පරාජයක් අත්විය.
ඉන්දියාව 2012දී ඔස්ට්‍රේලියාව හමුවේ 4-0ක පරාජයක් ලැබීමෙන් අනතුරුව ලැබූ දරුණුම පරාජය නවසීලන්තය හමුවේ වාර්තා විය.