දූෂණය නැති කිරීමට නීති ගෙනාවේ තමා බවත් දූෂණ විරෝධී නීතිය ඉදිරිපත් කළේ තමා ජනාධිපති වූ පසුව බවත් ඒ නීතිවලින් පමණක් මෙය සිදු කිරීමට නොහැකි යැයි හිටපු ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දෙවන නීතියක් ලෙස අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, පාර්ලිමේන්තුව විසුරුවන්නට තිබුණේ එම නීතියත් අනුමත කිරීමෙන් අනතුරුව බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරග කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට මහනුවර ඊයේ (31) පැවැති ජනහමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ රටේ අභියෝගය භාරගත් මොහොතේ ඒ අභියෝගය ජය ගැනීමට උපකාර කළ මන්ත්‍රීවරුන් අද ගෑස් සිලින්ඩරයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. රටේ මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළා. පරණ ඇබ්බැහිකම් අතහැර ගන්න බැරි මාධ්‍ය කිහිපයක් තිබෙන බව ඔහු කියනවා. කුණු ඇඳුම් විසි කර ප්රජාතන්ත්රවාදී ඇඳුම් ඇඳගන්නැයි ඔවුන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කියනවා. මේ කතා කරන්නේ කවුද? කුණු ඇඳුම් අතහැර ප්රජාතන්ත්රවාදයට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණයි. පළමු කොට මුදල් අච්චු ගැසූ බව කියා දෙවැනිව මුදල් අච්වු නොගැසූ බව මාධ්‍ය කියා ඇතැයි ද ජනාධිපතිවරයා පවසනවා. මුදල් අච්චු ගැසුවා යැයි මාධ්‍ය කියන විට විජිත හේරත් මහතා මුදල් අච්චු නොගැසූ බව පැවසුවා.
ද්‍රවශීලී බව ආරක්ෂා කර ගැනීමට මුදල් අච්චු ගැසූ බව මහ බැංකුව පැවසුවා. ඉතින් ද්‍රවශීල බව කියන එක ඒ අය නොදැන සිටියා නම් මාධ්‍යයට දොස් කියන්නේ කොහොමද? බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද ඊයේ පෙරේදා ද්‍රවශීලි බව පිළිබඳ කතා කළා. ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන් තුන්දෙනා ඒක දන්නේ නැහැ. මේ පළපුරුදු නැති අයයි. පළපුරුදු ඇති අය මීට අවශ්‍ය යැයි මා කියන්නේ ඒකයි. ඒකට මාධ්‍යයට බැණලා මොකටද? දැන් පාර්ලිමේන්තුව පිරිසුදු කරනවා යැයි තර්ජනය කරනවා. එයා පාර්ලිමේන්තුව පිරිසුදු කරන්නේ කොහොමද? පාර්ලිමේන්තු ඡන්ද තිබෙන්නේ මහජන නියෝජිතයන් තෝරන්නයි. ජනතාව ඔවුන් කැමති අය තෝරනවා. ජනතා විමුක්ති පෙරමුණ කාලයක් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ හිටියේ නැහැ. ජනාධිපති පාර්ලිමේන්තුව දූෂිත යැයි කිව්වාට රටේ සියයට 58ක් ඒ කතාවට එකඟ වුණේ නැහැ.
කාට හෝ විරුද්ධව දූෂණ චෝදනා තිබේ නම් මිනිසුන් ඔහු ඉවත් කරාවි. දූෂණ ඇමැතිවරයෙක් ඉවත් කරන්න කියා පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණාලු. ඒ විවාදය පැරදුණ නිසා පාර්ලිමේන්තුව දූෂිත බව මොවුන් කියනවා. 2023 වසරේ ජූලි මාසයේදී කෙහෙළිය ඇමැතිට විරුද්ධව කාවින්ද මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් ඊට පසුව අගෝස්තු 31 වැනිදා එතුමා ගිහින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. හොරා ද? නැද්ද? කියා ඒ නඩුව විසින් තීරණය කළ යුතුයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි පාර්ලිමේන්තු විවාදය නතර කරන්න අප කටයුතු කළේ නෑ. අප සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අපට තීරණයක් දිය හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු මේ විවාදය ගන්නා ලෙසත් අප පැවසුවා. එය නීත්‍යනුකූල ක්‍රමයක් නේ. යම් සිද්ධියක් ගැන උසාවියට ගියොත් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ එම තීන්දුව ලබාගෙනයි.
ඔය අතරතුරේ නීතිපති ගිහින් කෙහෙළිය ඇමැතිටත් විරුද්ධව නඩු දැම්මා. කාට විරුද්ධවද නඩු දමන්නේ කියා මට අහන්න තිබුණා. මේ සම්බන්ධයෙන් මට පරීක්ෂා කරන්න අවශ්‍යයි කියන්න තිබුණා. මා ඒ කිසිවක් කරන්න ගියේ නැහැ. නීතිපතිවරයා විසින් නඩු පැවරූ පසුව මා ජනාධිපතිවරයා ලෙස කෙහෙළිය ඇමැති කැඳෙව්වා. මෙය වැරදි චෝදනාවක් බවත් තමාගේ නම මෙයින් ඉවත් කරන ලෙස නීතිඥවරුන් ලවා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් රඹුක්වැල්ල මහතා මට පැවසුවා. එතුමා එවැනි ඉල්ලීමක් කරනවා නම් ඉවත් වන්නැයි කියන්න මට හැකියාවක් නැහැ. මොකද එතුමාගේ නම නඩුවෙන් ඉවත් කළොත් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. එතුමා ගිහින් අධිකරණයෙන් ඉල්ලීම කරන විට මහේස්ත්‍රාත්වරිය කෙහෙළිය ඇමැතිතුමා රිමාන්ඩ් භාරයට පත් කළා. අනතුරුව ඔහු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මට එව්වා. අප ක්‍රියා කළේ ඕනෑම රටක තිබෙන සම්ප්රදාය අනුවයි.
අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණේ එම නීතියත් අනුමත කිරීමෙන් අනතුරුවයි. නමුත් එය කළේ නැහැ. අප දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයක් ඇතිකර තිබෙනවා. එය මා හැදූ එකක් නොවේ. මා මූල්‍ය අරමුදලට කියූ විට ඔවුන් හදා දුන් එකක්. මේ සියල්ලම නැතිව මේ වැඩ කටයුතු කරගෙන යන්න බැහැ. දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම, ජාතික විගණන පනත සංශෝධනය කිරීම ආදී වශයෙන් පියවර 15ක් විස්සක් පමණ තිබෙනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ නැතිව හොරු අල්ලන්න බැහැ. අපේ මේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්නේ මේ නීති ක්‍රියාත්මක කරවීම සඳහා යැයි පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහනුවර කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ, ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ, හිටපු මන්ත්‍රීවරුන් වන වේලු කුමාර්, ගුණතිලක රාජපක්ෂ, තලතා අතුකෝරල, හිටපු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, උදයන කිරිඳිගොඩ මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.