ඡන්දේ දාන්න යන්න රජයේ සහ පෞද්ගලික සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය බව හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

ඡන්දය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින බාගයක කාලයක් ද කිලෝමීටර් 40-100ත් අතර නම් එක් දිනයක් ද අවම නිවාඩු ලබාදිය යුතු වනවා.

කිලෝමීටර් 100-150ත් අතර නම් දින එකහමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් වශයෙන් ද නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් මේ සඳහා සේවා නියුක්තිකයින් විසින් සේවා යෝජකයින් වෙත ලිඛිතව අදාළ නිවාඩු ඉල්ලීම සිදුකළ යුතු වනවා.

එමෙන්ම සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ලබාදෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සකස් කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.