ආසියා පැසිෆික් කලාපයේ චීනය සමඟ උද්ගත වී ඇති උණුසුම් වාතාවරණයට මුහුණ දීම සඳහා ජපාන සිය ආරක්ෂක තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් යුද නෞකාවලට එරෙහි දුර දිගු මෙහෙයුම් මිසයිලයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ඒෂියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම නව මිසයිලයේ පළමු අත්හදා බැලීම වසර 2027 දී සිදු කිරීමට නියමිත බවත්, මේ වන විට සෙන්කකු දූපත් සමූහය පිළිබඳ චීනය සමඟ අර්බුදයක් පැවැතීම එම මිසයිලය නිෂ්පාදනය කිරීමට හේතු වී ඇතැයි ද ඒෂියා ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
නව මිසයිලයේ නිෂ්පාදන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වසර 2023 සිට 2027 කාලසීමාව තුළ සිදු කිරීමට ජපාන රජය අමෙරිකානු ඩොලර් මිලියන 223ක් වෙන් කර ඇතැයි ද, ඒ සඳහා ජපානයේ ආරක්ෂක ඇමැතිවරයාගේ පූර්ණ අනුමැතිය ලැබී තිබූ බව ද වාර්තා වේ. කිලෝමීටර් 2,500ක දුරකට එල්ල කිරීමේ හැකියාව ඇති නව මිසයිලය බටහිර ජපානයේ සිට චීනයට එල්ල කිරිමට හැකියාව ඇතැයි ද ඒෂීයා ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.