- ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල
- වේගය පාලනය කරගන්න බැරි වෙලා
- පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 05 කණුව ප්‍රදේශයේ ඊයේ (01) පෙරවරුවේ සිදු වූ බස් අනතුරින් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආචාර්යවරු තිදෙනෙක් ඇතුළු 39ක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වෙයි. අනතුර සිදුවන විට බස් රථය ගමන් කරමින් තිබී ඇත්තේ බෑවුමක් සහිත මාර්ගයකය.
බස් රථය අනතුරට ලක්ව ඇත්තේ වමට වංගුවක් සහිත ස්ථානයකදී බවත් වම් පසින් ධාවනය වෙමින් තිබුණු බස් රථය එම ස්ථානයේදී දකුණු පැත්තට ඇදී ගොස් පස් කන්දක ගැටී පෙරළී නතර වී ඇති බව පොලිසිය කියයි.
එම පස් කන්ද අසල තිබූ විශාල කළුගල දෙකට කැඩී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. බස් රථය වේගයෙන් පහළට ගමන් කරමින් තිබියදී කළුගලේ ගැටී ඇති බව අනුමාන කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම මාර්ගයේ බෑවුම දෙසට ගමන් කිරීමේදී වාහන බොහොමයක් පසුගිය කාලයේදී අනතුරට ලක්ව ඇති බව ද එම නිලධාරියා කීය. බොහෝ අනතුරු සිදු වන්නේ බෑවුමේ අවසාන කොටසේදී බව ද ඒම නිලධාරියා සඳහන් කළේය.
“ගොඩක් වාහන අනතුරට පත්වෙලා තියෙන්නේ මේ පැත්තේ අය පැදපුවා නොවෙයි. මේ පැතිවල අය දන්නවා මේ වගේ පාරවල්වල වාහනයක් ගමන් කරන විදිහ. මේ පැතිවලට පිටින් එන රියැදුරන් පල්ලම් බහින්නේ බ්රේක් ඒකෙන්. ජියර් එකෙන් පල්ලම් බහින්නේ එහෙමත් අය. උඩ ඉඳන් පල්ලම් බහින කොට බ්රේක් එකෙන් වැකුම් බැහැල බ්රේක් අහන්නේ නැති තැනට පත් වෙනවා. මේ අනතුර සම්බන්ධයෙන් අපිට පේන්න තියෙන්නේ එවැනි තත්ත්වයක්.” යැයි ද එම උසස් නිලධාරියා පැවසීය.
මෙම බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ කණ්ඩියට වැදී මේ ආකාරයට නොනැවතී මාර්ගයේ අනිත් පසින් ඉවතට පැන්නේ නම් විශාල හානියක් වීමට තිබුණු ඉඩකඩ බොහෝ බවද ඒම නිලධාරියා කීය. ඒම පැත්තේ ඇත්තේ විශාල හෙළක් බවද ඔහු සඳහන් කළේය.
ඇතැම් විට රියැදුරු කල්පනා කර අවම හානියකින් තත්ත්වය පාලන කර ගැනීමට මෙසේ පස් කණ්ඩියට පාලනයකින් තොරව ධාවනය වෙමින් තිබුණු බස් රථය ඇල්ලුවාද යන්න පිළිබඳ සැකයක් පවතින බවද එම නිලධාරියා කීය. බස් රථය කන්දේ වැදී ඇත්තේ රියැදුරුගේ පැත්තෙනි. එබැවින් ඔහු මේ වන විට සිටින්නේ තරමක් බරපතළ තත්ත්වයේ බැවින් ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි බව ද එම නිලධාරියා කීය.
මෙම අනතුර සිදුවන විට බස් රථයේ රියැදුරු හා රිය සහයක සමඟ 41 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. ඒ අතර සිටි 36 දෙනෙක්ම සිසුන් බව ද පොලිසිය සඳහන් කළේය. තිදෙනෙක් කථිකාචාර්යවරුය. ඔවුන් සියලු දෙනාම අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටිති. රියැදුරු සහ රිය සහයක ලෙස සිට ඇත්තේ හමුදා සාමාජිකයන්ය.
මෙම බිහිසුණු අනතුරින් මිය ගොස් ඇත්තේ, නිවිතිගල තොලඹුගමුව පහළකන්ද පදිංචිව සිටි එම්.ජී.අයි. උපයංගනී සහ කුරුණෑගල උණකොළගෙදර කරඩිවත්ත පදිංචිව සිටි එම්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල නමැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකි. මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (01) පෙරවරු 8ට පමණ බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතරය.
තුවාලකරුවන් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, වාට්ටු අංක 9, 10, 15 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් ඔවුන්ගෙන් සය දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් අනතුරට පත්ව තිබුණේ පෙරේදා (31) පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නවාතැන් ගෙන යළි ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා යමින් සිටියදී බවත් පොලිසිය කියයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ මෙම සිසුන් පෙරේදා (31) බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයට ගොස් පසුව පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන් ගෙන ඊයේ (1) උදෑසන පුහුණු වැඩසටහනකට බදුල්ල හරහා රන්දෙණිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පැවසීය. අනතුර සිදු වීමත් සමඟ ක්ෂණිකව එම ස්ථානයට ගිය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා රෝහල් කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින් ප්‍රදේශවාසීන් ද සමඟ එක්වී බස් රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන ගිලන් රථවලින් බදුල්ල ශික්ෂණ රෝහලට රෝගීන් යැවීමට යුහුසුළුව කටයුතු කළහ.
බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්වී රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යුහුසුළුව කටයුතු සිදු කළහ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අනතුරට මුහුණ පා ඇති බවත් ඔවුන් සිය අධ්‍යාපන පුහුණු වැඩසටහනක් සඳහා රන්දෙණිගල බලා යමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය. මෙම බිහිසුණු අනතුරින් බස් රථයට දැඩි ලෙස හානි වී ඇත. තුවාල ලැබූ මෙම සරසවි සිසුන් බදුල්ල, රත්නපුර, කෑගල්ල, පාදුක්ක, අවිස්සාවේල්ල, අලව්ව, කුරුණෑගල ආදී දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි අයවලුන් බවද පොලිසිය පවසයි.
මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැත. බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කරනු ලැබුවේ ඒම ස්ථානයට මෝටර් රථ පරීක්ෂකද පැමිණි බවය. බස් රථය අද හෝ හෙට මෝටර් රථ පරීක්ෂක පූර්ණ පරීක්ෂාවකට ලක්කර අනතුරට හේතුව සඳහන් කරනු ඇති බවය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජීව විජේරත්න, කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතුංග, උපපොලිස් පරීක්ෂක ඒ.වී. අනුර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.