ශීත ඍතුව එළඹීමත් සමඟම ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර සිට නව ගුවන් සේවාවක, පළමු මංගල ගුවන්යානය (Inogaral Flight) ඊයේ (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
මේ ප්‍රථම මංගල ගුවන් ගමනට ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන්යානයක් යොදවා තිබූ අතර, ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඊයේ (01) උදෑසන 9.20ට ඊඩ්ල්වයිස් (edelweiss) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.68 දරන මේ ගුවන් යානය තුළ ව්යාපාරික පන්තියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමඟ ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
සූරිච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මේ යානය එදිනම උදෑසන 10.05ට මාලදිවයිනේ මාලේ නුවර ඔස්සේ ආපසු සූරිච් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිතය. මේ ගුවන් සේවා යානා 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන් සිකුරාදා සහ ඉරිදා දිනවල සූරිච් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
එසේම මේ ශීත ඍතු ගුවන් සේවයේ ගුවන් යානා 2025 වසරේ මැයි මාසය තෙක් ක්රියාත්මක කිරීමට නියමිතය.