- අනතුරු ඇඟවීම ප්‍රමාද කළ බලධාරීන්ට ජනතා විරෝධය
- ඉදිරි දිනවල යළි වර්ෂාවක් – රජයෙන් රතු නිවේදන
නැඟෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය මුළුමනින්ම විනාශ කළ දරුණු ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය බදාදා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ විශාල ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් ප්‍රමාද වීම ජීවිත හානියට හේතුව බව කියමින් ජනතාව කෝපයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මියගිය අය සහ අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත්, ඒ සඳහා ස්පාඤ්ඤ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බවත් වාර්තා වේ.
මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයකට ස්පාඤ්ඤය මුහුණදී ඇත්තේ වසර 51කට පසුව වන අතර, වැලෙන්සියා ප්‍රාන්තයේ නගර ගණනාවක නිවාස, ගොඩනැඟිලි, මහාමාර්ග විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී තිබේ. මෝටර් රථ ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති අතර, බොහෝ වාහන නැවත පිළිසකර කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවද වාර්තා වේ.
ගංවතුර හේතුවෙන් අවතැන්වූ ජනතාව මිලියන 5කට වැඩි බවත්, අවතැන්වූවන් සඳහා තාවකාලික කුඩාරම් ඉදිකර අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ස්පාඤ්ඤ රජය නිවේදනය කර තිබේ. එමෙන්ම ජීවිත අහිමිවූවන් වෙනුවෙන් දින 3ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
සුනාමියකට සමානව අධික වේගයෙන් ගලා ගිය බව කියන ගංවතුර මේ වන විට බැස ගියද, ඉදිරි දින කිහිපයේදී නැවත වර්ෂාපතනයක් සිදුවන බවට එරට කාලගුණ විද්‍යා ඒකකය අනතුරු ඇඟවීමෙන් පසු රතු නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.