හොංකොං ක්‍රිකට් විසින් සංවිධාන කරන ‘හොංකොං සික්සර්ස් 2024’ ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද නේපාලයට එරෙහිව අර්ධ අවසන් තරගයට එක්වෙයි. තරගාවලියේ අවසන් තරග හෙට (3) පැවැත්වීමට නියමිතය.
ඊයේ ආරම්භ වූ තරගාවලියේ මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඕමානය කඩුලු 4කින් පරාජය කළ අතර, දෙවැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 18ක ජයක් හිමි කර ගත්තේය.
බංග්ලාදේශයට එරෙහි තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 107ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ බංග්ලාදේශයට ඕවර 6 අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 89ක් පමණි.
බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් සයිෆුඩීන් පන්දු 17කදී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර, ජිෂාන් අලාම් පන්දු 13කින් ලකුණු 27ක් රැස් කළේය. පන්දු යැවීමේදී ළහිරු සමරකෝන් ලකුණු 26කට කඩුලු 2ක් බිඳදැමූ අතර, ධනංජය ලක්ෂාන් ලකුණු 13කට කඩුල්ලක් දවා ගත්තේය.
නායක ළහිරු මදුෂංක පන්දු 17කින් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. තනුක දාබරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 12කින් ලකුණු 32ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 79ක් එක් කළේ පන්දු 26කිනි. පන්දු යැවීමේදී ජිෂාන් අලාම් කඩුලු 2ක් බිඳ දැම්මේය.
පළමු තරගයේදී ඕමානය ලකුණු 80කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4.1කදී කඩුලු 2ක් දැවී ජය තහවුරු කර ගත්හ.
සඳුන් වීරක්කොඩි ලකුණු 28ක් සහ තනුක දාබරේ ලකුණු 18ක් රැස් කළේ පන්දු 7කට බැගින් මුහුණ දෙමිනි. ළහිරු මදුෂංක පන්දු 5කින් නොදැවී ලකුණු 15ක් සහ ළහිරු සමරකෝන් පන්දු 6කින් නොදැවී ලකුණු 20ක් රැස් කරමින් ජය තහවුරු කර ගත්හ.
‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ බංග්ලාදේශය එක් ජයක් සමඟ අර්ධ අවසන් වටයට පිවිසි අතර, ඕමානය තරගාවලියෙන් ඉවතට විසිවිය.
ඊයේ පළමු දිනය නිමා වන විට පාකිස්තානය ‘සී’ කාණ්ඩයෙන් සහ දකුණු අප්‍රිකාව ‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතයන් ලෙසත්, ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සත්කාරක හොංකොං පිලත් අර්ධ අවසන් වටයට එක් විය. මූලික වටය යටතේ ‘බී’ කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව – නේපාලය සහ ‘සී’ කාණ්ඩයෙන් එක්සත් අරාබි එමීර් – ඉන්දියාව අද තරග වැදීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් පිළිවෙළින් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවලින් තරග කළ නවසීලන්තය සහ එංගලන්තයට අර්ධ අවසන් වටය අහිමි වී තිබිණි. මේ කණ්ඩායම් දෙක සමඟ ඕමානය සහ ‘සී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට (එමීර් හෝ ඉන්දියාව) පලඟ ශූරතාව වටයට තරග වැදීමට නියමිතය.