වසර 16කට පසුව ආසියානු ක්රිකට් තරග බිමේදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකානු ක්රීඩකයෝ සමත් වූහ. බංග්ලාදේශයට එරෙහිව චෙටොග්රෑම්හිදී පැවති දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 273කින් ජයගත් දකුණු අප්රිකාව 2-0ක් ලෙස තරගාවලිය නිමා කළේය.
මේ ජය වාර්තා අතරට එක් වූයේ දකුණු අප්රිකාව 2008 වසරෙන් පසුව ආසියාවේදී වාර්තා කළ පූර්ණ ටෙස්ට් තරගාවලි ජය ලෙසයි. ඔවුන් අවසන්වරට බංග්ලාදේශයට එරෙහිවම 2-0කින් පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර තිබිණි. මෙන්ම මේ ජයග්රහණය දකුණු අප්රිකාව වෙනුවෙන් ඉනිමක් සමඟ ලකුණු පරතරය අනුව වාර්තා වූ ඉහළම ජයග්රහණය ද විය. මින් පෙර 2017 වසරේ බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්රිකාව ඉනිමකින් ලකුණු 254කින් තරගයක් ජය ගෙන තිබිණි.
මේ තරගයේදී දකුණු අප්රිකාව පළමු ඉනිමට ලකුණු 575ක් රැස් කළ අතර, පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය ලකුණු 159කට දැවී ගිය අතර, පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දුන්නද එවර රැස් කළ හැකි වූයේ ලකුණු 143ක් පමණි. මේ ජය සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ද දකුණු අප්රිකාවට හැකි විය.
මේ අතර, සිය සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 4න් 3ක් ජයගත හොත් ඔවුන්ට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදා වනු ඇත. එම තරග ලබන මස ශ්රී ලංකාවට එරෙහිව (තරග 2යි) සහ ජනවාරි මස පාකිස්තානයට එරෙහිව (තරග 2යි) පැවැත්වේ.