- බදුල්ල පැත්තෙ ඉඳන් බස් එකක් ආවා එක පාරටම කණ්ඩියෙ වැදිලා මහ හඬක් නඟමින් පෙරළුණා – අනතුර ඇසින් දුටු අයෙක්
“අද මගේ මහත්තයාගේ උපන්දිනය. දුව උදේම තාත්තාට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ට කියලා තාත්තට කේක් එකක් එවලා තිබුණා. පසුව මටත් කතා කළා. එහෙම කතා කළ මගේ දුව රිය අනතුරින් මියගිය බව දැන ගන්න ලැබුණා.” යැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් ගමන් ගත් බස් රියක් ඊයේ (1) පෙරවරුවේ බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේදී කණ්ඩියක ගැටී පෙරළීයෑමෙන් මියගිය නිවිතිගල තොලඹුගමුව පහළ කන්දේ පදිංචි එම්.ජී.අයි. උමයංගනි (24) සරසවි සිසුවියගේ මව වන මල්ලිකා නිමල් ශාන්ති (50) මහත්මිය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලිකා මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය:
“මේ මියගොස් සිටින මගේ ලොකු දුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. මට තව දුවලා දෙදෙනක් ඉන්නවා. ඒ දෙන්නා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කරනවා. මම කලක් පොලිස් සේවයේ නිරතව සිට පසුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසා සේවයෙන් අයින් වුණා. සැමියා ගුරුවරයකු ලෙස සේවය කර දැන් විශ්‍රාම ලබා ඉන්නවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දුව කතා කරලා කිවුවා අපි 32 වැනිදා පුහුණු වැඩසටහනකට බදුල්ලේ යනවා කියලා. පසුව දුවගේ යාළුවොත් එක්ක 42ක් මේ ගමනට එක් වෙලා තිබෙනවා. දුව බදුල්ලට ගිහින් කතා කළා. ඒ ගොල්ලෝ ඇල්ලේ ගියා කිවුවා. පසුව එදින රාත්‍රියේ පස්සර පැල්ගහතැන්න පුහුණු මධ්‍යස්ථානයේ නතර වෙලා මට කතා කළා. ඊට පස්සේ අද (1) උදේ දුව කතා කරලා තාත්තගෙ උපන්දිනයට සුබ පැතුවා. එයා එයාගෙ යාළුවෙක්ට කතා කරලා කියලා තියෙනවා කේක් එකක් අරන් ගෙදර ගිහින් තාත්තට දෙන්න කියලා. පස්සේ දුව උදේ මට කතා කරලා කිවුවා අම්මේ අපි ළමයි ඔක්කොම ඊයේ (31) රාත්‍රියේ පුදුම විදියට විනෝද වුණා. අපි අද රන්ටැඹේ ගිහින් මාවනැල්ලට ගිහින් යනවා කියලා. දුව මගේ උපන්දිනය දවසේ මට කිවුවා අම්මෙ අපි නුවරඑළිය ගිහින් අනූනවයෙන් බේරුණා කියලා. එහෙම කිවුව දුව අද තාත්තාගෙ උපන්දිනය දවසේ අවසන් ගමන් ගියා. මට මේ මොනවාත් හිතා ගන්න බෑ… හීනයක් වගේ. උදේ කතා කරපු දුව පැය කීපයකට පසුව රිය අනතුරින් මියගිය බව දැනගන්න ලැබුණා.”
මේ අනතුරින් බස් රථයේ සිටි සිසුවියන් දෙදෙනකු මියගොස්, 39 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. මෙහිදී මරුමුවට පත් වූයේ නිවිතිගල තොලඹුගමුව පහළකන්දේ පදිංචි එම්.ජී.අයි. උමයංගනී සහ කුරුණෑගල උණකොළගෙදර කරඩිවත්තේ පදිංචි එම්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල නමැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියෝ දෙදෙනාය.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (1) රාත්‍රියේ බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ මළසිරුරු සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්.ඇම්.කේ.බී. විජේතුංග මහතා විසින් සිදු කරනු ලැබීය. එහිදී සිසුවියන් දෙදෙනාගේ මරණ රිය අනතුරක් නිසා හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් වූ හදිසි මරණ දෙකක් බවට එම වෛද්‍ය වාර්තාවලින් නිගමනය කෙරිණි.
මේ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නිලධාරියකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මඟින් කොළඹ යුද හමුදා රෝහලට ගෙන ඒමට ඊයේ (1) සවස ගත් උත්සාහය අසාර්ථක වූයේ ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. ඒ තුවාලකරු ගිලන්රියකින් බදුල්ල පාපන්දු පිටියට රැගෙන ආවද, අයහපත් කාලගුණය නිසා ගුවන්ගමන නතර කෙරුණු බැවින් නැවතත් බදුල්ල ශික්ෂණ රෝහලටම රැගෙන යෑමට සිදු වී තිබිණි.
මේ බිහිසුණු අනතුර ඇසින් දුටු සී. රත්නායක මහතා අප සමඟ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය:
“උදේ හත හමාරට විතර ඇති බදුල්ල පැත්තෙ ඉඳලා බස් එකක් ආවා. ඒ බස් එක එක පාරටම පාරෙ වම් පැත්තේ කණ්ඩියෙ වැදුණා. ඒත් එක්කම මහ සද්දයක් ඇති කරමින් පෙරළුණා. අපි දුවලා ගිහින් බැලුවා. හිටපු ඔක්කොම වගේ කෑගහනවා. අපි ඒ ගැන බදුල්ල පොලිසියට කතා කරලා කියලා තුවාල වෙච්ච අය බස් එකෙන් එළියට අරන් බදුල්ල රෝහලට යවන්න කටයුතු කළා. ඒ එක්කම බදුල්ල රෝහලේ ඇම්බියුලන්ස් ආවා. අපි ඔක්කොම එකතු වෙලා තුවාලකාරයන් ඒ ගිලන් රථවලට දැම්මා. හැබැයි ළමයි දෙන්නෙක් ගත්තා… ඒ අය තරුණ ගැහැනු ළමයි… ඒ දෙන්නාම මිය ගිහින් කියලා අපිට හිතුණා… මේ වෙලාවේ ලොකු ස්තුතියක් කරන්න ඕනෑ බදුල්ල රෝහලේ දොස්තර පාලිත මහත්තයාට. එයා ඇවිත් ලෙඩ්ඩු ගෙනියන්න ලොකු උදවුවක් දුන්නා. මහත්තයෝ… මගේ ෆොටෝ ගහලා දාන්න එපා. අපි කළේ අපේ අයට වෙච්ච කරදරයකදි උදවු උපකාර කරන එක විතරයි” රත්නායක මහතා පැවසීය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සහ පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර මහත්වරුන්ගේ උපදෙස් මත, බදුල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක චිරංජීව විජේරත්න, පොලිස් පරීක්ෂක ජයතුංග, උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්. රත්නායක, උප පොලිස් පරීක්ෂක ජිනදාස, 54124 පීරිස් මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.